44 හැවිරිදි ගඩාෆි, 1986 ඇමරිකානු ගුවන් ප්‍රහාර වලට ලක්ව විනාශ වූ ලිබියාවේ ට්‍රිපොලි අගනුවර බාබ් අසීසියා මාළිගය තුළදී. මේ, අන්තර්ජාලය තුළ ඔහු සිනාසෙමින් සිටින ඡායාරූප අතලොස්සෙන් එකකි.
කර්නල් මුහම්මර් ගඩාෆි මේ සියල්ල දැන සිටියාක් මෙන් ය. ඇමරිකාව විසින් ඉරාකය ආක්‍රමණය කොට, එහි නායක සදාම් හුසේන්ව ඝාතනය කිරීමෙන් පසු පැවැත්වුණු 2008 අරාබි ලීග් සමුළුවේදී, එවකට ලිබියානු නායක ගඩාෆි මෙසේ පැවසීය.
"ඉරාකය ආක්‍රමණය කිරීමටත්, විනාශ කිරීමටත්, ඉරාක ජාතිකයන් මිලියනයකට ජීවිත අහිමි කිරීමටත් හේතුව කුමක්ද? අපගේ ඇමරිකානු මිතුරන්ට මේ ප්‍රශ්නයට පිළිතුරු දීමට ඉඩ හරිමු'
ඇයි ඉරාකය? හේතුව කුමක්ද? බින් ලාඩන් ඉරාක ජාතිකයෙක්ද? නැහැ. නිව්යෝක් නගරයට පහර දුන්නේ ඉරාක ජාතිකයන්ද? නැහැ. පෙන්ටගනයට පහර දුන්නේ ඉරාක ජාතිකයන්ද? නැහැ. ඉරාකය සතුව බහුජන විනාශකාරී අවි (Weapons of Mass Distruction - WMD) තිබෙනවාද? නැහැ.ඉරාකය සතුව WMD's තිබුණා නම්, ඒ වුණත් පාකිස්තානය සහ ඉන්දියාව සතුවත් න්‍යෂ්ටික බෝම්බ තිබෙනවා නොවේද? චීනය, රුසියාව, බ්‍රිතාන්‍යය, ප්‍රංශය සහ ඇමරිකාව සතුවත් තිබෙනවා නොවේද? මේ සියළු රටවල් විනාශ කර දැමිය යුතුද?හොඳයි, අප ඒ WMD's සහිත සියළු රටවල් විනාශ කර දමමු. විදේශ බලවන්තයෙකු පැමිණ, අරාබි රටක පැලපදියම් වී එරට ජනාධිපතිවරයාව එල්ලා දමනවා. අප පසෙකින් වාඩිවී සිනාසෙමින් සිටිනවා.සදාම් හුසේන්ව එල්ලීම පිළිබඳව ඔවුන් පරීක්ෂණයක් නොපවත්වන්නේ ඇයි? යුධ සිරකරුවෙකු එල්ලා දමන්නේ කෙසේද? අරාබි රටක ජනාධිපතිවරයෙකු, අරාබි ලීගයේ සාමාජිකයෙකු යනු සුළුපටු පුද්ගලයෙකු නොවෙයි.සදාම් හුසේන්ගේ ප්‍රතිපත්ති ගැන හෝ අප අතර තිබූ දේශපාලනික මතභේද පිළිබඳ මා කතා කරන්නේ නැහැ. අප හැමෝටම ඔහුත් සමග දේශපාලනික මතභේද තිබුණා. මේ ස්ථානයේ සිටින අප අතරත් එවැනි මතභේද තිබෙනවා. මේ ශාලාවෙන් පිටතදී අපට බෙදාගන්නට කිසිවක් නැහැ.සදාම් හුසේන්ව ඝාතනය කිරීම පිළිබඳ පරීක්ෂණයක් නොපැවැත්වෙන්නේ ඇයි? සමස්ත අරාබි නායකත්වයම එල්ලා දමා අවසන්. අප පසෙකින් වාඩිවී සිටින්නේ ඇයි? ඔබගෙන් ඕනෑම කෙනෙකු මීළඟ වින්දිතයා විය හැකියි. ඔව්!ඇමරිකාව, අයතුල්ලා අලී ඛමෙයිනිට එරෙහිව සදාම් හුසේන් සමග එක්ව සටන් කළා. ඔහු ඔවුන්ගේ මිතුරෙක්. ඩික් චේනි සදාම් හුසේන්ගේ මිතුරෙක්. ඉරාකය විනාශ කර දැමූ සමයේ ඇමරිකානු රාජ්‍ය ලේකම් ඩොනල්ඩ් රම්ස්ෆෙල්ඩ් යනු සදාම් හුසේන්ගේ සමීප මිතුරෙක්. අවසානයේදී ඔවුන් ඔහුව විකුණා එල්ලා දැමුවා.ඔබ ඇමරිකාවේ මිතුරන්. අපි මෙසේ කියමු, ඔබ පමණක් නොවෙයි, 'අපි ඇමරිකාවේ මිතුරන්'. එහෙත් එක්තරා දිනෙක ඇමරිකාව විසින් අපවත් එල්ලා දමාවි"- මුහම්මර් ගඩාෆි, 2008 අරාබි ලීග් සමුළුවේදී.- - - - - - - - - -2008 අරාබි ලීග් සමුළුව පැවැත්වුණේ මාර්තු 29 වැනිදා සිරියාවේ දමස්කස් අගනුවරදීයි. ඉන් වසරකට පසුව, 2009 අරාබි ලීග් සමුළුවේදී ලිබියානු නායක මුහම්මර් ගඩාෆි, සවුදි අරාබියේ අබ්දුල්ලා රජු බ්‍රිතාන්‍යයේ නිර්මාපිත, ඇමරිකානු ආරක්ෂාව ලබන්නෙකු බව ඔහුට ඍජුවම ප්‍රකාශ කළේය. විශාල ඇමරිකානු කඳවුරු කිහිපයක් සවුදි අරාබියේ පිහිටුවා තිබීම සහ අබ්දුල්ලා රජු උග්‍ර ඇමරිකානු හිතවාදියෙකු වීම ඊට හේතුවයි. ගඩාෆි-අබ්දුල්ලා අතර උණුසුම් වාදයක් ඇතිවෙද්දී ඊජීප්තු නායක හොස්නි මුබාරක් මැදිහත්ව ප්‍රශ්නය සමථයකට පත්කළේය.2009දී 'අරාබි වසන්තය' නම් ව්‍යාපෘතිය පණගැන්විණි. ඒ සමග ඇතිවූ තරුණ අරගල, ඝාතන, කුමන්ත්‍රණ, කැරලි සහ ප්‍රචණ්ඩකාරී සිදුවීම් වලින් පසුව ටියුනීසියාව, ඊජීප්තුව සහ ලිබියාව යන රටවල් වල පාලකයන්ගේ වෙනසක් ඇතිවිය.සිරියාව සහ යේමනය දරුණු සිවිල් යුද්ධ වලට මුහුණපෑවේය. බහරේන්හිද සිවිල් නැගිටීම් දැකිය හැකිවූ අතර මේ බොහෝ රටවල් වල ආර්ථිකයන් කඩාවැටුණි. මහජනයා අන්ත දුගීහාවයට පත්විණි. ඒ රටවල් තුළ අන්තවාදීන් සහ අවි අත දරාගත් තරුණයන්ගේ කල්ලි සුලබ විය.උක්ත නිර්භීත කතාව පැවැත්වූ මුහම්මර් ගඩාෆි, 2010 ඔක්තෝබර් 20 වැනිදා, ලිබියාවේ National Transition Council (NTC) නම් සංවිධානය ප්‍රමුඛ මහජනතාව විසින් මහමග දිගේ ඇදගෙන ගොස්, වෙඩිතබා ඝාතනය කළේය. එතැනින් පසුව ලිබියානු පාලන තන්ත්‍රයේ කඩාවැටීම ඇරඹිණි.2012දී ගාසා තීරයේ යුද්ධ ගැටුම් යළි ඇවිලිණි. එය මෙතෙක් නොනවත්වා ක්‍රියාත්මක ය. 2023දී ලෙබනනයේ හිස්බුල්ලා ගරිල්ලන් සහ ඊශ්‍රායලය අතර ගැටුම් වැඩි විය. ඊශ්‍රායල-පලස්තීන ගැටුම්ද උත්සන්න විය. එමෙන්ම රතු මුහුදේ බලය තහවුරු කරගැනීම වෙනුවෙන් ඊශ්‍රායලය සහ යේමනයේ හූති ගරිල්ලන් අතර ගැටුම් පවතියි.එකල ජාත්‍යන්තර ප්‍රවෘත්ති වලට අනුව ගඩාෆි යනු ඒකාධිපතියෙකි. ඔහු සාන්තුවරයෙකු යැයි කිව නොහැකිය. එහෙත් ගඩාෆි විසින් 2008දී පැවැත්වූ උක්ත කතාව තුළ, මෑත කාලීන ගෝලීය දේශපාලන ඉතිහාසය පිළිබඳ බොහෝ තොරතුරු ගැබ්ව ඇත. ඉතිහාසය සියල්ලට සාක්ෂි දරමින් තිබේ. ඊශ්‍රායල්-ඉරාන ගැටුම් යනු එහි වර්තමානයයි."මේ හෑලි අපට මොකටදැ?"යි විමසන ඕනෑම කෙනෙකුට දියහැකි පිළිතුර වන්නේ, "කුසට පෙර මොළයට සංවේදනා දැනෙන බවත්, ඒවාට සංවේදී වීම වැදගත් බවත්" ය.- -----අසංක හදිරම්පෑල.
මුණු පොතට --- අයුලි නුගේරා.
No comments:
Post a Comment
ඔබේ අවධානයට ස්තුතියි.