මේක පරණ කථාවක්.
මේ කාලේ අපි තනිකඩයෝ. අවුරුදු පනහක් විතර පරණ සිද්ධීන් වුනත් තාමත් අද ඊයේ වුනා වගේ මතක තියෙනවා
මේ කියන කාලේ කොළඹ - අම්පාර බස් එකක් තිබුනා .මාර්ග අංක 98.
පිටකොටුව මධ්යම බස් නැවතුමෙන් ගමන් ආරම්භ කරන්නේ 19.30පැයට. මේ බස් රථය බෙලිහුල්ඔය පසු කරන්නේ 00.30 පැයට පමන.
බෙලිහුල්ඔය අපේ ගම නේ !.
ඒ බස් එක ගැන.
හද නැති කරුවළ දවසක ආරි කතා කරනවා “ මහත්තයෝ අපි දඩයමේ යමු “ කියලා.
ආරිත් එක්ක වැඩකරපු සෙට් එකක මමත් ආගන්තුක සාමාජීකයෙක්.
වැඩ බිමක තිබුන ට්රැක්ටර් , බේබි ඩම්පර් ,වගේ සැහැල්ලු යන්ත්රෝපකරණ තමයි අපේ වාහන.
ආරි පදිංචි වෙලා ඉන්නේ අපිට වඩා කිලෝ මීටර් 12 කටත් එහා දුරින් එයාගේ ගමේ.
ගම වළව ගගට මායිම් වෙලා තියෙන්නේ. එගෙඩ මහ වනන්තරේ.
මේ වනන්තරේ තමයි අපේ දඩබිම.
ආරිට තුවක්කුවක් තියෙනවා. බලපත්ර සහිත.
කිතුල් ගහක් දෙකක් මැදලා පැණි හදනවා කිව්වත් වැඩිපුර පැහෙන්නේ රා .
දැන් හිතා ගන්න පුළුවන්නේ මේ ගමනෙදී රා පොඩ්ඩකුත් රහ බලන්න පුළුවන් වෙනවා කියලා.
ආරිගේ මැණිකේ කටට රහට උයනවා. පොඩ්ඩක් පදම් වෙලා දඩයමෙත් ගිහින් රෑට බතට දඩ මස් එක්ක රතු හාලේ බතුත් සප්පායම් වෙලා එන්නයි අපේ අදහස.
ඔන්න හවස් යාමේ ඉර ගිලෙන්න තියෙද්දී බේබි ඩම්පර් දෙකක නැගිලා අපි හතර පස් දෙනා දඩ කෙළියට පිටත් වුනා.
පැයක් හමාරකින් පස්සේ ආරි අපිව පිළිගත්තා. දැන් හතට කිට්ටුයි.
ආරි කිව්වා.
අපි දැන් පිටත් වෙමු නේද ? කියලා.
කණ්ඩායමේ අණ දෙන්නා ආරි කියන දෙයක් අහන්න එපාය.
ගගෙන් එගොඩ වෙලා කැලෑවට වැදුන .අපිට කතා බහ බෑ. සද්ද බද්ද බැහැ. කොළයක් වත් පොඩි නොවෙන තාලෙට අඩිය තියන්න ඕනි. ආරිගේ නියෝග.
ඔහොම පැය දෙ තුනක් ඇවිදලාත් ලොකු දඩයමක් කර ගන්න බැරිව පුංචි සත්තු දෙන්නෙක් එලා ගෙන ආපහු ආවා.
ආරිගේ පාටිය.
ඇගපතේ රිදුම් යන්නත් එක්ක කිතුල් රා….කටගැස්මට උණු උණුවේ මස්, තම්බපු මයියොක්කා
ඒ අතර ආරි මැණිකෙට උදව්වට රෑට බත පිහිනවා….
දැන් රෑ …..එකට දෙකට කිට්ටුයි.
කාලා බීලා ආපහු හැරුනා බේබි ඩම්පර් දෙකේ යුද්දෙට ගිහින් ආපහු එන සොල්දාදුවො වගේ සිංදු කෑලිත් කිය කියා පල්ලම් බහිනවා..
ඒ එන අතර මග පාරේ තාර කරත්තයක්.
එකෙක් කියාපි “ අදිමුද පාර මැදට “ කියලා
“හරි මචං අදිමු “ එක හඩින් අනුමැතිය.
දෙන්නෙක් ඉස්සරහින් අදිනවා. තුන් දෙනෙක් පස්සෙන් තල්ළු කරනවා.
පාර මැද්දේ තාර කරත්තේ….
ඇදලා තිබ්බට දැන් බයේ බෑ…හනි හනිකට ඩම්බර් දෙකට නැගිලා නවාතැන් වලට රිංගලා ගැහී ගැහී නින්දට තතනලා එළිය වට්ට ගත්තා.
එදා කරුමෙට රෑ අම්පාර බස් එක පැය දෙකක් විතර පමා වෙලා.
මේ හුටපටයට පස්සේ එතන පහුකරන්න ඇවිත් තියෙන්නේ..බස් එක මංකොල්ල කන්න පාර හරස් කරලා කියලා බය වෙලා.
ආ වේගෙන්ම ආපසු හරවා ගෙන පොලිසියට ගිහින් .පොලිසියත් එක්ක ඇවිත් පාර ඇරගෙන.
මළ කෙලියයි.පාන්දර කතා ගොඩයි.
අපි අවුරුදු ගානක් කට හෙල්ළුවේ නෑ මේ ගැන.
බකමූනෝ වගේ.


.png)




