RSS

ලොකු තාත්තා වු මම










මේ සටහන මම ගැන.

මම ගැන ලියුවත් මේ දරුවගෙත්  මේ සටහනට ප්‍රතිචාර දක්වලා තිබුන සණුහරේ දරුවන්ගෙත් හිත් කොයිතරම් අගේ කළ යුතු ලෙන්ගතු කමින් පිරිලා තියෙනවද කියලා ?.

මට නෙතේ නැගුන කදුළක් ....

අපි උදේ හවස දකින්නේ හමුවෙන්නේ කීප දෙනයි.

ලංකාවෙන් බැහැර රටවල …………….

ලංකාවෙත් හතර අතේ……

සන්නිවේදනය නැත්නම් දකින්නෙත් හඩ ඇහෙන්නෙත් කලාතුරකින්.

ඒත් අපේ බැදීම් ශක්තිමත්.

සංවේදීයි.

මට හැත්තෑ අටක්.

නංගිලා මල්ලිලා - දුවලා පුතාලා - මුණුපුරු මුණුපිරියන් එක්ක සංකීර්ණ ජනපදයක

තාමත්  අගයීමට ලක්වීම පිනක්.


සමහර මිනිස්සු අපේ ජීවිතේ කොච්චර වටිනවද කියලා තේරෙන්නේ, ඔවුන් එක්ක ගෙවපු මතක එකින් එක ආපහු මතක් කරද්දි… ❤️

අපේ ලොකු තාත්තා කියන්නේ අපේ පවුලේ ඒ වගේම කෙනෙක්.
අපේ ළමා කාලය පුරාම හිටපු, අපේ සතුටු මතක එකතු කරපු, අදටත් අපිව ඒ එදා වගේම ආදරෙන් මතක් කරන කෙනෙක්. 🥹❤️

උස, හැඩිදැඩි, මූණ පුරාම හිනාවක් තියෙන, අපි හැමදාම ආදරෙන් දකින අපේ කඩවසම් ලොකු තාත්තා. ❤️

මගේ පොඩි කාලේ ඉඳන් අද මම අම්මා කෙනෙක් වෙලා ඉන්න තැනට එනකම්, ලොකු තාත්තාගෙන් ලැබුණු ඒ ආදරේ නම් තාමත් එදා වගේමයි. කාලය ගෙවිලා ගියාට, අපි ලොකු වුණාට, ජීවිතේ කොච්චර වෙනස් වුණත්… ඒ ආදරේ නම් වෙනස් වෙලා නෑ. ❤️

අදටත් ඔයාව දැක්කාම දැනෙන්නේ ඒ පොඩි කාලේ දැනුණු ඒ උණුසුම
. ඒ හුරුපුරුදු හිනාව, ඒ ආදරණීය  පිළිගැනීම… ඒවාට වචනවලින් වටිනාකමක් දෙන්න බෑ. 🥹

FB එකේ චණ්ඩියා වුණාට, අපේ හිතේ ඉන්නේ අපේම ආදරණීය ලොකු තාත්තා. 😄❤️

 සතියක් දෙකක් ගියාම, “කොහොමද ඉතින්?” කියලා අහන්න එන ඒ call එක නම් කවදාවත් වරදින්නේ නෑ. ❤️

ඒක නිකම්ම call එකක් නෙමෙයි… “ඔයාලා මතක් වුණා” කියලා වචනවලින් නොකියා, ඒ call එකෙන්ම කියන ආදරයක්. 🥹❤️

අපේ පොඩි කාලේ ඉඳන් අද වෙනකම් අපේ හැම මතකයක්ම එකතු කරගෙන, අපේ ෆොටෝවලින් පිරුණු ලොකු මතක බණ්ඩාරයක් ඔයා ළඟ තියෙනවා.

අපි හැමෝගෙම උපන්දිනයන් මතකයි. අපි පොඩි කාලේ කරපු පුංචි පුංචි දේවල් මතකයි. අපිටත් අමතක වෙලා ගිය සමහර මතක පවා ඔයා ළඟ තාම තියෙනවා. ❤️

ඒ ෆොටෝ දිහා බලද්දි තේරෙන්නේ, අපේ ළමා කාලය ලස්සන වෙලා තිබුණේ ඒ දවස් නිසා විතරක් නෙමෙයි… ඒ දවස් ආදරෙන් පිරවූ මිනිස්සු නිසා කියලයි. ❤️

අපි කොච්චර ලොකු වුණත්, ජීවිතේ කොච්චර වෙනස් වුණත්, සමහර මිනිස්සුන්ගේ තැන අපේ හිතේ කවදාවත් වෙනස් වෙන්නේ නෑ.

ඔයාත් ඒ වගේ කෙනෙක්. ❤️

ආදරණීය ලොකු තාත්තේ,
ඔයාට හරිම ආදරෙයි. ❤️🥹

අපේ මතක රැකගෙන, අපිව මතක් කරගෙන, අදටත් ඒ එදා වගේම ආදරෙන් අපිව පිළිගන්න එකට… ගොඩක් ස්තූතියි.

අපේ ලොකු තාත්තා…
අපේ ළමා කාලයේ ලස්සනම මතකයක් විතරක් නෙමෙයි—
අපේ ජීවිතේ හැමදාමත් තියෙන ආදරණීය කොටසක්.

 ❤️

By Shenali M Liyanagamage
Do you miss me .

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS

වර්ගයාගෙන් ප්‍රතික්ෂේප වීමේ බිය.








හ්ම්…
ඒක ගැන කතා කරල ඇති වැඩක්ම නෑ…
“ලියනව කියන්නෙම ඇරියස් කවර් කිරීමක්…!”
කියල දවසක් මං කිව්වම, ලේඛනයේ යෙදෙන මගෙ යාලුවෙක් තුෂ්ණිම්භූත වෙලා මං දිහා බලාගෙන හිටියෙ හරියට “ඒ කිව්වෙ..?” කියල අහන්නා වාගෙ.
ඒ කිව්වෙ ඉතින් යම් කෙනෙකුට ලිඛිතව හෝ වාචිකව ප්‍රකාශ කරන්න යම් දෙයක් තියෙනවා කියන්නෙම, ඒ කෙනාට තමන්ගෙ ඇතුළාන්ත හෝ බාහිර පරිසරය එක්ක මොකක්ම හෝ නොගැලපීමක් තියෙනව කියන එකනෙ. අන්න ඒ ඇතුළාන්ත අතිරික්තය හෝ හිඟය බැලන්ස් කරන්න තමයි, ඕනෑම කෙනෙක් ලිඛිතව හෝ වාචිකව යමක් ප්‍රකාශ කරන්නෙ. ඒක එහෙම නෙවෙයි නම්, ඇත්තටම මොනවද මිනිස්සුන්ට එකිනෙකා එක්ක කතා කරන්න තියෙන්නෙ?
“මට නම් තේරෙන්නෙ නෑ ඔයා කියන ඔය බහුබූත..!”
සඳතරණිට මං ඕක කිව්ව නම් එයා එහෙම තමයි කියන්නෙ.
“එහෙනම් ඉතින් ඔයා වුණත් මොකටද ඔය සෝෂල් මීඩියා එකට ඇවිත් එක එක ඒව ලියන්නෙ..?”
සඳතරණි එහෙමත් අහයි මගෙන්.
“ඔව් ඉතින් මාත් ඔහෙ ඉඳල හිටල එක එක ඒව ලියනව තමයි…”
“ම්…ම්…ම්….
ඒ ඉතින් ““මාත් මෙහෙ ඉන්නවෝ” කියල ඉඳහිටවත් අනෙක් අයට මතක් කරන්න නෙ…”
“ඔහ්…!!!”
“Fear of missing out” - FOMO හෙවත් “වර්ගයාගෙන් ප්‍රතික්ෂේප වීමේ හෝ මගහැරී යාමේ බිය”...!!!”
“ඒ කියන්නෙ එහෙනම් ඉතින් ඔය බකපණ්ඩිත කම් කියන ඔයාගෙ ඇතුළාන්තයෙත් එහෙම පොඩි එකක් තියෙනව…!!”
සඳතරණි එහෙම කිව්වම මං තමයි තුෂ්ණිම්භූත වෙන්නෙ…
( මොකද ඔතනින් එහාට සඳතරණිට වුණත් මං ඕවට උත්තර සපයන්න යන්නෙ නෑ. “මිසිං අවුට් වුණා වුණත් මට මාව නැති වෙනවද” කියල මං ඇහුවොත් එයාව තුෂ්ණිම්භූත වෙයිනෙ )
විජිතමාලි ආනන්දකුමාර -
( සඳතරණය - 2 )
Do you miss me .

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS

සැප්තැම්බරය


සැප්තැම්බරය.
බෙලිහුල්ඔයට වැස්ස ලැබෙන කාලය.
කාලගුණ දෙපාර්තමේන්තුවේ අනාවැකි නැතත් අපිට මේ රටාව හුරු පුරුදුයි.
පෙබරවාරි වෙනකම් මේ වැස්ස ලැබෙනවා.
ආයෙත් මහ වැසි පුරන්නේ අප්රේල් මුල් සතියේ.
බක්මහට හෙන ගහ ගහා වහිනවා.
ලා කොල දළු දාන්න “ N” , ලැබෙනවා.
අපි පුංචි කාලේ ගොවිතැන් බත් කරන උදවිය කාලගුණයට අවනතව වගා කටයුතු කලා
අපේ ගම බත බුලතින් සරුයි.
ජනාකීර්ණ නැහැ.
පිටතින් දියලුනු , කරවල , දුන්කල , සබන් වගේ දේවල් තමයි බෙලිහුල්ඔය පාලමෙන් මෙගොඩ තිබුන පුංචි කඩමණ්ඩියට ගෙනාවේ. ( ආනයන කලේ )
කන්නයක් එවර වෙලා මාසයක් දෙකක් වෙනකම් සතියකට වී ටොන් විස්සක් විතර පාලමෙන් එහාට යනවා ( අපනයන වෙනවා).
ගොඩ ගොවිතැන් කරපු උදවියත් හිටියා.
ඉරිගු , වියලි මිරිස් වෙළදපලට ලැබෙනවා.
මට මතකයි සිරිමා මැතිණිගේ ආණ්ඩුකාලේ මිරිස් පොළු ,හාල් පොළු තිබුන කාලේ ඒ කාලේ ලක්ෂපතියෝ වුන ගොවි මහත්තුරු බිහිවුනා.
ආර්ථිකේ විවෘත වුනා. අපි බංකොලොත් වුනා.
පාලමෙන් එහාට ශ්‍රමය ගලන්න පටන් ගත්තා. කෙත් වතු පාළු වුනා.
පාලමෙන් මෙහාට ලොරි පුරෝල කඩමණ්ඩියට බඩු භාණ්ඩ ආවා.
දැන් හාල් ටිකත් ඩඩ්ලිගේ මෝලෙන්.

මේ යුග දෙකක් හරහා ඇදපු රේඛාවක්.

අද මීටත් වඩා වෙනස්. .
ප්‍රෙද්ශයම ජනාකීර්න වෙලා.
එක පැත්තකින් සබරගමු විශ්ව විද්‍යාලය ශීෂ්‍ය ප්‍රජාව හාර පන්දහසක් ජනගහනයට එකතු වෙලා.
ඒ නිසා ඇතිවුන ආර්ථිකයක්.
බෙලිහුල්ඔයට එන සංචාරකයෝ දවසින් දවස වැඩිවෙනවා.
ඒ නිසාත් නව ආර්ථිකයක් ඇතිවෙලා.

වැස්ස බලා ගෙන බාරහාර වෙන පරපුරක් තවම ඉන්නවා.
අක්කරයයි කියන්නේ වී බුසලක් වැපිරෙන වපසරිය.
අක්කරයකින් වී බුසල් සීයක් එකසිය දහයක් නෙලා ගන්න ගොවි මහත්තුරු හැත්තෑව දශකයේ හිටියා.
ඕල ආතා ඉන් එක්කෙනෙක්. ඕල ආතාගේ බාලම පුතා සුබසේන රාළහාමි.
උන්නැහෙත් විශ්‍රාමික ග්‍රාම සේවා නිළධාරියෙක්.
එතුමා තමයි ඒ පරපුරට වර්තමානයේ නායකත්වය දෙන්නේ.
ගමේ තියෙනවා පත්තිනි දේවාලයක්. දේවාලයේ සක්‍රීය කරලා කටයුතු කරන්නේ.
පසුගිය පායන කාලේ බාරයක් වෙලා වැසි ලැබෙන්න ප්‍රාරථනා කරලා.
වැස්ස ලැබිලා යුතුකම් ඉටුකරන්න දේවාල පරිශ්‍රෙය් ගිහි පිරිතක් කියලා දානයක් දුන්නා .
තරුන පිරිසගේ දායකත්වයයි. සහභාගී වීමයි සෘෘණාත්මයි.
ඒ වර්තමාන පරපුරේ අදහස් උදහස් මේ වගේ සංස්කෘතිමය ආකල්පත් එක්ක ගැලපෙන්නේ නැතිව වෙන්න ඇති.
සුබසේන රාළහාමිගේ පරපුරත් එක්ක අවුරුදු තුන්සිය පනහක විතර ඉතිහාසයක් තියෙන “ ගලගම පත්තිනි දේවාලය අක්‍රීය වෙයිද  කියලා මට හිතෙනවා.

Do you miss me .

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS

බෝධිය සහ විද්‍යාව


බෝධිය කියන්නේ නිකන්ම නිකන් ගහක් නෙමෙයි කියන එක අපි හැමෝම දන්නවා .
ඒත් ඒ පූජනීය සෙවන පිටුපස තියෙන, හිත පිස්සු වට්ටන විද්‍යාත්මක හා ජෛව රසායනික රහස් ගැන කීයෙන් කීදෙනාද ඇත්තටම දන්නේ?

අපගේ තිලෝගුරු බුදුරජාණන් වහන්සේ සංසාරයේ පෙරුම් පුරාගෙන ඇවිත්, කෙලෙස් මුලින්ම නසා උතුම් බුද්ධත්වයට පත්වෙන්න විශ්වයේ අසංඛෙය්‍ය ලක්ෂ ගණනක් වෘක්ෂයන් අතරින් මේ බෝධි වෘක්ෂයම තෝරාගත්තේ නිකන්ම නිකන් අහම්බයකින් නෙමෙයි!
"බෝධියෙන් අද්භූත කිරණ නිකුත් වෙනවා" කියන ජනප්‍රිය කතාවට වඩා එහා ගිය, මිනිස් සිරුරට සහ මනසට සෘජුවම බලපාන අද්විතීය ජෛව විද්‍යාත්මක ආශ්චර්යයක් මේ පූජනීය ශාකය තුළ තියෙන බව ජාත්‍යන්තර පර්යේෂණ පොත්පත් මගින් අනුපිළිවෙලින් තහවුරු කරලා තියෙනවා.
​පළමුවෙන්ම, Ethnobotany and Phytochemistry of Ficus religiosa (Dr. Vikas Gupta et al.) පොතේ දක්වන විදිහට,
බෝධි ශාකයේ පත්‍ර, පොතු සහ බීජ තුළ Tannins, Flavonoids, Steroids, Saponins සහ Terpenoids වගේ ප්‍රබල Phytochemicals අඩංගුයි.
ඒවා මගින් ශරීරයේ ප්‍රදාහයන් සමනය කිරීම (Anti-inflammatory), ඇදුම හා ස්වසන ආබාධ පාලනය (Anti-asthmatic), බැක්ටීරියා නාශක බලපෑම සහ සර්ප විෂට එරෙහි සෛලීය ආරක්ෂණය (Antioxidant activity) වගේ විශාල ඖෂධීය වටිනාකමක් (Pharmacological Value) ලෝකයට ලබාදෙනවා.
​දෙවනුව, Sacred Plants for Holistic Health and Wellbeing (Dr. Rita Singh) ග්‍රන්ථයට අනුව, බෝධි ශාකය CAM (Crassulacean Acid Metabolism) කියන සුවිශේෂී ප්‍රභාසංශ්ලේෂණ යාන්ත්‍රණය හරහා රාත්‍රී කාලයේදී පවා පිරිසිදු ඔක්සිජන් පිටකරනවා.
ඒ වගේම එහි පත්‍රවලින් නික්මෙන Biogenic Volatile Organic Compounds (BVOC) වාෂ්ප මගින් වටපිටාවේ ඇති ස්වසන ආසාදන ඇතිකරන බැක්ටීරියා විනාශ කරලා,
මුළු පරිසරයම ප්‍රබෝධමත් ස්වාභාවික සුව කලාපයක් (Micro-climate) බවට පත් කරනවා.
​තෙවනුව, The Healing Power of Sacred Trees (Margot Anand) පොතෙන් පැහැදිලි කරන්නේ, බෝධි පත්‍රවල ඇති සුවිශේෂී හෘදයාකාර හැඩය සහ මඳ සුළඟට පවා සිදුවන නිරන්තර කම්පනය නිසා වාතයට නිදහස් වන Negative Ions (ඍණ අයන) ශ්වසනය කිරීමෙන් අපේ මොළයේ Serotonin කියන සතුට හා ශාන්තිය දනවන හෝමෝන මට්ටම උත්තේජනය වී,
මානසික ආතතිය, Stress, සහ අධි රුධිර පීඩනය ක්ෂණිකව පහත වැටෙන බවයි.

​ඉතින් බුදුරජාණන් වහන්සේ සති හතක් පුරා උතුම් විමුක්ති සුවය වින්දනය කරන්නත්, අපේ පැරණියෝ බෝධිය වන්දනා කරමින් ඒ සෙවනේ එක මොහොතක් හරි නිශ්ශබ්දව ඉඳගෙන හුස්ම ගත්තේත් නිකන්ම නිකන් භක්තියට විතරක් නෙමෙයි.

ඒ පිටුපස තිබුණේ මුළු විශ්වයම විමතියට පත්කරන අතිශය උතුම් ස්වාභාවික හා විද්‍යාත්මක සෞඛ්‍ය රහසක්!
ඉතින් ඔයත් පුළුවන් හැම වෙලාවෙම බෝරුකක් ලගට ගිහින් නිශ්ශබ්දව හුස්ම ගන්න .
🙏🙏🙏💖💖

සටහන 
උපේකා ලක්මිණි 

Do you miss me .

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS

බිබිලේ දොඩම්


බිබිලේ ප්‍රදේශයේ එක්දාස් නමසිය හතලිස් ගනන්වලදී අක්කර 4000කටවඩා ප්‍රදේශයක පැතිරී තිබුනු දොඩම් වගාව අඩුපහසුකම් සහිත මොණරාගල දිස්ත්‍රික්කයේ දිලිඳු ජනයාගෙ ප්‍රධාන ජීවනෝපාය විය. බිබිලේ පැණි දොඩම් ලංකාව පුරා ප්‍රසිද්ධ විය. එවකට ලංකාවෙ සිටි සුදු ජාතිකයින් විදේශීය සගරාවලට ලිපි ලියා බිබිලේ දොඩම් වගාව ගැන මුලු ලෝකෙටම කියනකන් අපෙ පැණි දොඩම් වගාව යහතින් තිබුනි.

ටික කලක් යත්ම පලබරව තිබූ පැණි දොඩම් ගස්වල කොළ කහපාට වීමත්, අතු කෙලවරෙන් පටන්ගෙන වියලී ක්‍රමයෙන් කොළ හැලීමට පටන්ගෙන වසර කීපයක් තුලදී ශාඛය සම්පූර්නයෙන්ම මියයාමට පටන් ගෙන තිබුනි. ඉතාම ආන්දෝලාත්මක තත්වයක් වූ මේ ගැන පාර්ලිමේන්තුවේදී පවා සාකච්චාවට ගත් අතර, ඊශ්‍රායල් හා බ්‍රිතාන්‍ය ශාඛ විශේෂඥයින්ගේ පර්යේශනවලින් පසුව ට්‍රිස්ටෙසා නම් වෛරසය බවට ඔවුන් පැවසීය. එක් දහස්  නමසිය හැත්තෑ ගනන් වනවිට පැතිරීගිය වෛරසයෙන් දොඩම් වගාව සහමුලින්ම විනාශ විය.

මේ අතරම බිබිලේ පැණිදොඩම් වැඩි දියුනු කර බයිබල් (bible) දොඩම් වී ඊශ්‍රායලය පුරා අක්කර දාස් ගනනින් වගාකිරීමට පටන්ගෙන පටගෙන තිබුනි. බිබිලේ පැණිදොඩම් විනාශ වුනෙ කෙසේද? ඒවා ඊශ්‍රායලයට ගියේ කෙසේද? යන්න පිලිබදව අද මෙන්ම එදාත් මුදලට යටවූ නිලදරුවන් එක එක සුරංගනා කතා කියන අතර බොහෝ දෙනෙක් ඒපිලිබදව තමා කිසිම දෙයක් නොදන්නා බව බොහෝවිට පවසා ඇත.

බිබිලේ පැණි දොඩම් වල ජාන/රෝපණ ද්‍රව්‍ය ඊශ්‍රායලයට ගෙන ගොස් එයට ගැලපෙන වෛරස් එකක් නිපදවා දේශීය කෘෂි විශේෂඥ කණ්ඩායමක් හරහා වෛරස් අඩංගු කෘෂි රසායන පොහොර ගොවීන්ට ලබාදීමෙන් ලංකාවේ පැණි දොඩම් වගාව විනාශ කලබව පැරණි ගොවීන් හා රටට ආදරේ මුදලට යට නොවූ බුද්ධිමතුන් විද්වතුන් පවසනවා.
නමුත් ගොවීන් හා යටත් පිරිස කරන මේ චෝදනාව දේශීය කෘෂිනිලධාරීන් තරයේ ප්‍රතික්ශේප කරනවා.
ඒ අතරම බිබිලේ දොඩම් බයිබල් දොඩම් වී ඊශ්‍රායලයට යාම ගැන කිසිවක් නොපවසන අතර.
ඒ සමගාමීව ලංකාවේ දොඩම් වගාව සහමුලින්ම විනාශ වීම වෛරස් එකක් නිසා බව පවසනවා.

#කොකාකෝලා ලංකාවේ ව්‍යාප්ත කිරීමට උත්සහා කල මුල් අවධියේත් අසාර්ථක බාවයක් පෙන්නුම්කර ඇත. එයට හේතුව වූයේ ලංකාවේ දොඩම් හා ජමනාරන් ලාංකිකයින් ඇතිවෙන්න බීම ලෙස කෑම ලෙස පරිභෝජනය කිරීමයි
ඔවුන් උපායක් යෙදුවා...... මුදලට පොහොර නැතිව ගමේ පොහොරින් හැදුනු දොඩම් ජමනාරන් වල ගොවියාට රසායනික පොහොර පුරුදු කරා ගොවීන් ඒ පොහොර දැමුවා ගස් නිසරු උනා ඵලදාව අඩු උනා දිලීර ආවා . 
නොකලට ගස් මැරුනා.... දොඩම් ඉවරයි.
දියවැඩීයාව වැලදෙන බීම බෝතලේට ජනතාව යොමු වූයේ එහෙමයි.
 
ඉන්දියාවේදී එවැනි බීම සමාගම් සොභාවික ජලය විශාල ළිං හාරා කොල්ලකන අතර ප්‍රදේශයේ මිනිසුන් පානීය ජලය නොමැතිව විදවයි.
((වැදගත්-------
1 - කෘෂිකර්ම අ‍ංශයේ=ජාන මංකොල්ලකෑම් හා ආක්‍රමණික ශාක ව්‍යාප්ත කරමින් භෝග වගාගවට පලිභෝදකයන් (සේනා දළබුවා) හා වසංගතයන් මුදාහරින
ද්‍රෝහීන්.....ඒජන්ට්ලා....
එම අංශ තුලම සැගවී සිට වැටුප් ලබනා සුන්දර රටවල් දකුණු ආසියාවේ ඕනෑතරම් ඇත.])
මේ හා සමාන කතාවක් ලංකාවේ ඇපල් හා පෙයාර්ස් වගාවන්ටද සිදුව ඇත (සොයාගන්න)
ජාත්‍යන්තර අවධානයට ලක්වූ ඌව වෙල්ලස්ස.

1818 නිදහස් සටන ඌව වෙල්ලස්ස නිදහස් අරගලය ලෙස හැඳින්වෙන්නත් හේතුව ඊට වැඩිම දායකත්වයක් සැපයෙන්නෙ වෙල්ලස්ස ජනතාවගෙන් වීම.
(කැප්පෙටිපොලලා, ඇල්ලෙපොල නිලමෙලා, කොහු කුඹුරෙ රටේ රාලලා)
නිදහස් අරගලයට එක්වෙන්නෙ මේ වෙල්ලස්සෙන්.
ඒ නිසාම ඉංග්‍රීසින් කැරැල්ල මර්ධනයේදි නැවත නගා සිටුවන්න බැරිවෙන විදියටම මේ භූමිය ගිනිබත් කරනවා
#බ්‍රවුන්රිග් ගෙ අණින්. ඌව වෙල්ලස්සේ ආර්ථිකය විනාශ කරන්නේ හරකබාන වෙල් යාය ගිනිතියලා. වගේම වයස දොලහාට වැඩි පිරිමි සේරෝම අවසන් කරනවා"
මේවා අපිට ඉතිහාසයේ සැඟ වුනු කාරණා විතරයි. එත් ඒ කාලයේ
#ලන්ඩනයේ_ටයිම්ස් පත්තරේ (නිදහස් මාධ්‍ය) පවා මේ බදුල්ල අවට ප්‍රදේශයෙ වගාවන් සහ පළතුරු වතු ගෙවල් ගිනිතැබීම ඉතා අමානුශික බියකරු පියවරක් බව වාර්තා කරනවා. වෙල්ලස්සේ නිදහස් අරගලය කිරීම හේතුවෙන් #තිස්_දහසකට අධික වෙල්ලස්සේ ස්වදේශික ජනතාව එංගලන්ත පාලකයන් විසින් ඝාතනය කරනවා.
 
(මේ දොඩම් ප්‍රශ්නයත් ඒ ප්‍රදේශය ආශිතවයි)
නිළලත් සමාජ රූපවාහිනී මාධ්‍ය පවා අසත්‍යම ප්‍රකාශය කරනා මෙවන් යුගයක පුද්ගලිකව සත්‍ය සොයා යෑම තුලින් ලෝක සැබෑ ස්වභාවය එනම් අපේම දේශීය මිනිසුන් අපට කරනා අකටයුතුකම් බහුජාතික සමාගම් රටට මිනිස්සුන්ට කරනා ද්‍රෝහීකම් ලාංකික පුරවැසියන් සොයාගත නොගතහොත් ඉදිරියේදී මීට වඩා බියකරු අත්දැකීම් වලට මුහුනදීමට සිදුවනු ඇත.
අනුමාන උදාහරණයක්:- වී වගාව සම්පුර්ණයෙන් විනාශවීම*****
හා පසුව කෘතිම චීන-ඉන්දියා ඉටිහාල් හා බටහිර පාන් පිටි විශාල මුදලකට අපට මිලට ගැනීමට සිදුවීම. හා (ලෙඩ රෝග ඉහල යාම)
ධාන්‍යමිල කඩල,කවුපි දැනටම භාවිතයට ගත නොහැකි පමණට මිල ඉහලගොස් ඇත.
පොහොර අවශ්‍ය නැති දේශීය සහල් වර්ග බහුජාතික වල් නාශක යොදා වනසා ඇත උදාහරණය= වෙල්මාරුක්
වෙලේ මහා රුක = විශාල ගොයම් ගස්
(මහාචාර්ය රාජ් සෝමදේව)

රටක් ලෙස අපගේ ගමනාන්තය කුමක්දැයි යන්නේ කොහේටදැයි දේශප්‍රේමී බුද්ධිමතුන් සුලුතරයකට හෝ වැටහීම සතුටට කරුණකි. ඔවුන්ද හදිසි රෝග තත්ව වලින් අකලට අප අතරින් වෙන්ව යමින් ඇත! අභාග්‍යකි.
කිසිදු විදෙස් රටක් හෝ බාහිර සංවිධානයක් කිසිදු දිනක ශ්‍රී ලංකාව සංවර්ධනය කිරීමට පැමිණෙන්නේ නැත. එය මිත්‍යාවකි. මනෝ ව්‍යාධියකි, පැමිණියොත් පැමිනෙන්නේ ඔවුන්ගේ ව්‍යාප්තවාද හා සම්පත් කඩාවඩා ගැනීම් උදෙසාය....
ඔවුන් අපට දැරීමට නොහැකි ණය ලබා දී පෙර ගම්මුලාදෑනින් බිරිද දරුවන් සොරාගත්තා සේ භූමිය හා සම්පත් සොරාගනීවී.
කතාව ඉවරයි!!!"
ලාංකිකයින් එකට එක්වී සාමූහිකත්වයෙන් දියුණු රාජ්‍යක් උදෙසා යාමට වීරිය වැඩිය යුතුය. නිවහල් මනසින් අකමැත්තෙන් හෝ සත්‍ය පිළිගනු මැන, යහපති.!
පොලිතීන් හා ප්ලාස්ටික් ජලමූලාශ්‍ර වලට හා පරිසරයට එක් නොකිරීමට වගබලාගන්න ප්‍රතිචක්‍රිකරණ ස්තානයකට ලබාදෙන්න.!
සටහන රටට හිතැති අයුරින් ලෝකය කියවමු.

- රස මිහිර. මාතෘභූමි

Do you miss me .

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS

පරිසරයට කරන අණවිණ.










මේ අගෝස්තු මාසේ.
වැස්ස ලැබෙන්න තව මාස ඒකහමාරක් විතර බලා ඉන්න වෙනවා. 
ඒහෙම තමයි බෙලිහුල්ඔය ඉන්න අපිට දේශගුණය බලපාන්නේ . කාලගුණ විද්‍ය දෙපාර්තමේන්තුව මොන අනාවැකි කිව්වත් අනාදිමත් කාලෙක ඉදන් මේ විදියට තමයි අපිට කාලේ ගෙවෙන්නේ.

බක්මාසෙන් පස්සේ තද වැහි බිනර මහේ දී තමයි පටන් ගන්නේ. ඔය අතරවාරේ ඉල්මාසේ පුංචි පුංචි වැහි ලැබෙනවා. තල වැස්ස කියලත් මේ වැහිවලට කියනවා.

ඔය පුංචි පුංචි වැහි ඉවර වෙලා මහ වැස්සට අතරවාරේ පෑවිල්ලට හාගල කන්දට ගිණි තියෙනවා.ගින්න අවට කදුවලට පැතිරෙන්න ඉඩ නොදී ගිණි වැටවල් යොදලා තමයි මේ කාර්ය කරන්නේ. හාගල කන්ද අපේ ගම්වැසියන්ට ගොවිපලක් වෙලා තිබුනා. අපේ ගොවියෝ තම තමන්ට කන්න සෑහෙන්න වී වගා කරන පිරිසක්. ගම්මානය පුරාවට අක්කර දාහක් විතර තියෙන්නේ හෙල් මැලි ක්‍රමයට හැදුණු කුඹුරු. ජල කළමනාකරනයත්  ඊට ගැලපුණු නිර්මානයක්.

මේ කුඹුරුවල හී හෑමේ හිටන් අස්වැන්න පාගලා ගෙට ගේනකම් ඒවාට උදව් දුන්නේ “ මී හරක් “ මෙයාලා වාසය කලේ හාගල කන්දේ. ගොයම් වැඩ එවර වෙලා හාගල කන්දට දක්කගෙන යන මී හරක් රංචු ආයෙත් ගමට එක්කර ගෙන එන්නේ කුඹුරු වැඩ පටන් ගන්න.

මෙයාලට අයිතිකාරයෝ හිටියේ ගමේ. හරක දහයක් පහලොවකට එක අයිතිකාරයෙක් හිටියා.

මේ අයිතිකාරයෝ තමයි හාගලට ගිණි තියන්නේ. 

ගිණි තිබ්බම මාන තෘණපදුරු පිච්චිලා කළු පාට වෙනවා. වැහි ඇල්ලක් දෙකක් වැටුනම කන්ද ආයෙත් කොළ පාට වෙනවා. ඒවා ගමයි මී හරක්ගේ අහාර වෙන්නේ.

දැන් රටාව වෙනස් වෙලා. 

ගමට හාල් එන්නේ අම්පාරෙන් , පොලොන්නරුවෙන් . ඩඩ්ලිගේ මෝලෙන්. දැන් පරපුර ගොවිතැන අත්හැරලා .කුඹුරු ඉඩම් පාළු වෙලා. හාගල කන්දේ ගව සම්පත දැන් නැහැ. කන්ද පාළු වෙලා.අයිතිකාරයෝ වෙනස් වෙලා .කන්ද අතහැරලා වෙනත් පලාත් වලට මී හරක් සම්පතට යන්න සිද්ධ වෙලා.

බෙලිහුල්ඔය සංචාරක නවාතැනක් වෙලා හාගල කන්ද ප්‍රවර්ධණය වෙන්නේ කදු නගින්නන්ට .කූඩාරම් ගහ ගෙන නවාතැන් ගන්නන්ට.

එයාලට සීමා මායිම් නැහැ. ගීණි තියන්න. ගිණි වැටවල් ඕන නැහැ අවට කදු තලාවන් ආරක්ෂා කරන්න. විනෝදය ,චමත්කාරය අවසන් වෙන්නේ හෝටර්න් තැන්න දක්වා ගිණි ගෙන දැවිලා අවසන් වුනාම.

කන්ද තවමත් ඇවිලෙනවා. වැස්සක් පේන මානෙක නැහැ.


Do you miss me .

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS

දරමිටි පෝය.




මේ ලබන්නේ නිකිනි පෝය හද ටිකින් ටික මෝරනවා.
ඇසල නිකිණි පෝය ලබන මේ මාසවල තදින් පායනවා .රජරටට වතුර හිග වෙනවා.
බොන්නත් වතුර නැති වෙන කාල තියෙනවා.
කැලේ ඉන්න වන සත්තු ගම් වදිනවා.
ගම්වල භව බෝග විනාශ කරනවා. ඒ අතර සිද්ධස්ථාන වලටත් එනවා.
ඒ ගහකොළත් එයාලට අකැප නැහැ.
කැපයි.
පන්සල් වල හාමුදුරුවරු දායකයෝ එකතු වෙලා පන්සල් බිම් ආරක්ෂා කරගන්න 
ගිණි මැල ගහගෙන ඉන්නවා.
ජයසිරි මහ බෝධියේ ලියලන දළුත් මේ අවධානමෙන් රැකගන්න ගිණිමැල ගහගෙන ඉදලා තියෙනවා.
ගීණිමැල ගහන්න දරත් එපාය.
ඔය රජ මහ ඇමතිවරු කුලවත් ඇත්තෝ දර අරගෙන එනවායැ.
ඒකත් කරන්න ඕනි දහඩිය මුගුරු වගුරවන ගම්වැසියෝ.
“දර මිටි ඇද්දා රෑ නිදිමැරුවා
ගිණි මැල ගහගෙන රැක හිටියා
එහෙව් අපට අද එන්න තහංචි ද
ජයසිරිමා බෝ හාමුදුරුවනේ........
රන්වැට පාමුල සාදු කියන කොට
අහිතක් නොසිතා ඉන්ට හොදයි
ඉස්සර වාගෙම දාදිය මුහුවුනු
වැලි මළුවේ හිද සාදු කියන කොට
ලෙන්ගතුකම නොහිතන්ඩ හොදයි
බුදුහාමුදුරුවෝ දුටුවා වාගෙයි
දුක ඉවසා වැඩ ඉන්ට හොදයි
අපේ බාර පිලිගන්න හොදයි ‘

ඒත් ඒ අයගේ බලාපොරොත්තු ඉටුකරගන්න බැහැ.
රජමැතිවරු, සිටුවරු රන්වැටෙන් ඉහල දාන මාන බාර හාර කරන කොට දරමිටි බැදලා ගිණිමැල ගහගෙන නිදිවරපු ඇත්තෝ රන්වැට පාමුල.

මේ කතාවත් එක්ක රජරට තියෙන කතාවක් තමයි නිකිණි පෝයට “ දරමිටි පෝය “ කියන එක.
දරමිටි පෝයෙන් පස්සෙවත් වැහි වැහැලා වටා පිටාව කොළ පාට වුනොත් වන සත්තු ගම් වදින එකක් නැහැ.



Do you miss me .

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS

තාමත් හිතනවා ?.





මළ ගෙදරක ගෙවුන සතියක්.

අද පෙර මෙන් අවමගුල්  කටයුතු සදහා කාලය ගන්නවා අඩුයි.

කොරෝනා අපට ලබා දුන් ආදර්ශයක් කියලයි හිතෙන්නේ…

සිරිත් විරිත් සිදු කලත් අවසන් ගෞරව දැක්වීමට තියා ගන්නා කාලය දවසක් දෙකක් වෙලා.

පැය හතලිස් අටක් .

සංනිවේදනය දියුණුයි . පැයක් දෙකක් ගත වෙන කොට දැන ගත යුතු ඥාති හිතමිත්‍රාදීන් ප්‍රවෘත්තිය දැනගන්නවා. දුර බැහැර අද ප්‍රශ්නයක් නෙමෙයි.

ගමන් බිමන් පහසුව තියෙනවා.

ඒ නිසා සියල්ලන්ට සහභාගීවීම දුෂ්කර නැහැ.

තාමත් බැහැර නොවු සිරිත් වුනත් නැත්තෙම නැහැ.

සරල කෑම වේලක් වෙනුවට බරපතල මෙනුවකින් යන එන අයට සංග්‍රහ නොකොලොත් මදි කමක්.

නිවසියන්ට භාරධුර කටයුත්තක්.

සමහරක් අවස්ථාවල ඥාතී හිතමිත්‍රාදීන් , අසල්වාසීන් බරපැන දරාගෙන මේ කටයුත්තට උර දෙනවා.

ආදාහණාගාර පිහිටුවා තිබීමත් තවත් පහසුවක් වෙලා.

මේ අනම් මනම් කියන්න නෙමෙයි හිතුවේ.

ඒත් කියවුනා කියමුකෝ.

මරණය පිලිබදව සංනිවේදන සිද්ධීන් තුනක අත්දැකීම් මට තියෙනවා.

මේවා විශ්මය සහගතයි. 

විශ්වාශ කරන්න අපහසු අත්භූත සිදුවීම්.

ගෙවුන සතියේ සිදුවුන සිද්ධියෙන් පටන් ගන්නම්කෝ.

දැන් මළ ගෙදර අවසන් කටයුතු ආරම්භ කිරීමට සූදානම් වෙන වෙලාව.

ආගමික කටයුතු සදහා ස්වාමීන් වහන්සේලා වැඩම කරවන අවස්ථාව.

පළමු ස්වාමීන් වහන්සේත් කැටුව නිවසට පා තැබුවා විතරයි.

නිවස ඉදිරිපිට තිබුන මහ දෙල් වෘක්ෂයක්.

ඒකේ වට අඩියක විතර විශාල අත්තක් මහත් ශබ්දයක් දෙමින් පිරිස මැදට කඩා වැටෙනවා.

කළබලවු පිරිස ඒ වටා රොක් වෙනවා.

කිසිවෙකුටත් අණතුරක් නැහැ.

වායු ගොලයේ කිසිදු කැළඹීමක් නැහැ නිශ්චලයි.


තවත් දිනක තිස්සමහාරාමයේ ඥාතිවරියකගේ මළ ගෙදරක සහභාගි වෙනවා.

දැන්  ආගමික කටයුතු අවසන් වෙලා . දෙන නිවසින් එළියට ගන්නවා.

නිවස ඉස්සරහ ලස්සනට වවලා තිබුන අඹ ගහක් .

ගහ වටේට බැම්මක් බැදලා මිදුලට ආභරණයක් වගේ .

ඒ දවස් අඹ වාරේ ගහ පිරෙන්න අඹ.

මෙන්න චර බර සද්දෙත් එක්ක විශාල අඹ අත්තක් සෙනග මැදට කඩා වැටෙනවා.

අඹත් පිරිලා…

කාටවත් අණතුරක් නැහැ.

එදත් පුංචි හුළගක්වත් තිබුනේ නැහැ.

නිසල පරිසරයේ ඇහුනේ අඹ අත්ත කඩා වැටුන සද්දේ විතරයි.


මේ අත්දැකීම වෙනස්….

අම්මා හෘදාබාදයක් සමග සටන් කරමින් ජයවර්ධණපුර රෝහලේ.

මම අම්මා ලග සිට පැමින නැවතත් අම්මා බලන්න යන්න බොරලැස්ගමුව නංගීගේ නිවසේ.

මමත් නංගිගේ පුතත් විතරක් එවෙලේ හිටියේ.

අනික් අය බැහැර ගිහින්.

මම වාඩිවෙලා ඉදලා නැගිටලා ආලින්දයට එන අදහසින්.

විදුලියක් වැදුනා වගේ කම්පනයකුත් සමග මගේ ඇස් අදුරු වෙලා නැවතත් පුටුව උඩට.

පුතා ඇවිත් අත දෙක අල්ලා ගෙන මොකද වුනේ කියලා බලනවා.

එවලේම ලැබුන දුර කතන පණිවිඩය පුතාට කියලා තියෙන්නේ.

ආතම්මා මිය ගිය බව.


මේවා අහුඹු සිදුවීම් ද ?

මම තාමත් කල්පනා කරනවා.

විසදුමක් නැහැ.





Do you miss me .

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS

අපේ ගෙදර



I was born and grow up in this place my mother build the wall around the house after every body left the house’

අපේ ගෙදර.

කුකුල් පැටවු නව දෙනෙක් මහ සත්තු  තෙක් සෙවන දුන්නු තැන.

“මම ඉපදුනේ හැදුනේ වැඩුනේ මේ තැන. හැමෝම ගෙදරින් ගියාට පස්සේ මගේ අම්මා ගේ වටේ තාප්පය හදනවා.”

අපේ එක පැටියෙක් කියනවා මෙහෙම.

ඇත්ත.

අපි ඔක්කොම නිදහසේ වැඩෙන්න අපේ අම්මා අත දුන්නා.

තාත්තා කලේ අම්මට උදව් වෙන එක.

කන්න බොන්න අදින්න පලදින්න ඉගන ගන්න ඕනෑ එපාකම් සම්පූර්න කරන එක.

අම්මා ඒ සියල්ල කළමණාකරනය කලා.

ලොකු මහත් වෙලා එකින් එකා ගෙදරින් එළියට……….

ලෝකයට පියමන් කරන්න පටන් ගත්තා.

තාත්තා අපිත් එක්ක අවුරුදු 88 ක් ඉදලා සමුගත්තා.

අම්මා ගෙදර තනිවුනා.

අම්මා ගේ වටේ තිබුන තාප්පේ මැද ……..

සුපුරුදු අධිරාජ්‍යයයේ රැජින 

මීට වසර කිහිපයක් වන තෙක්ම………… 



Do you miss me .

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS

සංඛපාල රජ මහා විහාරය


අද පොසොන් පෝය දවස.

සදුදා දවසක පෝය නිවාඩුව ලැබුන නිසා එක දිගට දවස් තුනක නිවාඩුවක්.

ආයතනික රාමුවලට කොටු වෙලා ඉන්න අයට එහෙම වුනාට අපිට එහෙම නෑ.

ඕන දවසක නිවාඩු ගන්න පුළුවන්.

පොසොන් පෝයට අනුරාධපුරේ මිහින්තලේ පැත්තට යන අය වැඩියි.

ඒ දවස්වලට ඒ පැත්ත ජනාකීර්ණ වෙනවා.

පොසොන් එකට මම ඇඹිලිපිටිය පැත්තට ගියා.

මග දිගට දන්සැල්…

ඒ නිසා කන බොන දේවල් වලින් අඩුවක් නැහැ.

මුලින්ම ගියේ සංඛපාල රජ මහා විහාරයට.

ඇසල පෝයට උත්සවශ්‍රීෙයන් ජනාකීර්න වන සංඛපාල රජ මහා විහාරය කතරගම පැත්තට යන වන්දනා නඩවලින් පිරිලා.

සංඛපාල රජ මහා විහාරයට අයත් නින්දගමේ භුමි ප්‍රමානය අක්කර 13000 ක් !.

උතුරෙන් පනහඩුව , රෙමෙනිපොත යන ගම්මාන දකුණට රක්වාන ගග ,බටහිරින් පල්ලේබැද්ද කුඹුක්කන් ආර, නැගණහිරෙන් බැලවානගල ද මේ වපසරිය සීමා කරනවා.

හතරමායිම් මොටද වැද පුදා ගත්ත ආවනම් කියලා අහන්න කවුරුත් නැති කොට මේ නින්දගම ලැබුනේ කොහොමද කියලා මම පත පොත පෙරලන්න හිතුවා .

ඒකටත් පෝය ගෙවෙන්න එපාය ?.



ක්‍රී.ව. 1782 දී මහනුවර යුගයේ රාජාධිරාජසිංහ රජ සමයේ කරතොට ධම්මාරාම හාමුදුරුවෝ “ බාරස “ කියලා කාව්‍ය නිර්මාණයක් කරනවා.

මේ කාව්‍ය නිර්මාණය රජතුමා ඔප්පු කරන කරතොට හාමුදුරුවන් කෙරෙහි පැහැදෙන එතුමා සිංහල සාහිත්‍යයට කරන ලද සුවිශාල මෙහෙවරක් කොට සලකා මේ නින්දගම පවරා දෙනවා.

දැන් කාලේ හැටියට නම් අල්ලස් හා දුෂණ කොමිසමට රාජකාරියක්. රජතුමා බලය අත්හැරලා තිබෙන්නත් එපාය ?.

තවත් අතීත කතාවක් තියෙනවා.

ඇඹිලිපිටිය ප්‍රෙද්ශය ගැන  කාවන්තිස්ස රජතුමා බැහැර කර කතා කරන්න බැහැ.

ඵුස්සදේව දසමහා යෝධයින්ගෙන් කෙනෙක්.

එළාර - දුටුගැමුණු යුද්ධයෙන් පස්සේ සේනාධිනායකයින්ට කරන ලද සේවය අගයීමක් වශයෙන් නොයෙක් වරප්‍රසාද ලබා දීලා තියෙනවා.

ඵුස්සදේව විශාල ශබ්දයක් නැගෙන, විශාල පරාසයකට ඇසෙන  පරිදි සක්ගෙඩි පිඹීමට දක්ෂයෙක්. 

ඔහුට කියනවා සක්හඩ පැතිරෙන ප්‍රෙද්ශය ඔබට නින්දගම් කොට පවරනවා කියලා .

ඵුස්සදේව සංඛපාල කදුවැටියේ උස්ම කදුමුදුනට නැග 

ශබ්දනගා සක්හඩ නංවනවා.

ඒ භුමි ප්‍රෙද්ශය ඵුස්සදේවට හිමිවෙනවා.

පසුකාලයක පැවදිව මේ නින්දගමේම වාසය කල බව සදහන්.

උන්වහන්සේ අපවත්ව භෂ්මාවශේෂ තැන්පත් කල ස්ථානය අපට දකින්නට හැකියි.

මේ සැරිසරත් සමග ඉරත් අවරට යන්න සූදානම්.


Do you miss me .

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS

ඉතිං මං තාමත් හොඳ යාළුවෙක්ව හොයනව.



- කඩුල්ල උඩ අතරමං වෙලා ඉන්න කොට ලස්සන කතාවක් මූණු පොතේ දැක්කා.මේකතාව කියන්නෙ Sandaru Dasanayake.
එයාට ස්තුතියි.
ආදරයයි යාළුවොයි අදුනනලා දුන්නට.

"ඔයාට අර ගාල්ලේ ළමයා එක්ක සම්බන්ධයක් තියෙනවද? ඔයාලා දෙන්නා බෝ ගහ ගාවට වෙලා කතා කර කර ඉන්නව මිනිස්සු දැකලා මගෙන් ඇහුවා.." තාත්තා දවසක් මගෙන් ඔය කතාව අහලා මාව හොඳටම හිනැස්සුවා. ඒත් තාත්තානම් මගේ දිහා බලාගෙන හිටියේ කුතුහලයෙන් වගේ. කුතුහලය සංසිඳවන්න එපැයි.
"සම්බන්ධයක් තියෙනව.. එයා මගේ යාළුවනේ.. වෙන අමුතු සම්බන්ධයක් තියෙනවානම් මං ඒක ඔයාට තමයි මුලින්ම කියන්නේ කියලා ඔයා දන්නවනේ.."
"මට යාලුකම් තේරුම් ගන්න පුළුවනි. ඒත් මේ ගමේ ඉන්න සමහර එවුන්ට මේවා තේරෙන්නේ නෑ. මගෙන් ඇහුවා බඳින්න ඉන්න කෙල්ලද කියලා" තාත්‍තා දැන් ආපිට එහෙම කියලා හිනා වෙන්න ගත්තා. එතැනින් ඒ කතාව අහවර වුණා. ආයේ අපි කවදාවත්ම ඒ ගැන කතා කළේ නෑ. ආයේ ඒ කතාව ඇදිලා ආවේ, අවුරුදු ගානකට පස්සේයි.

"අර ගාල්ලේ ළමයා දැන් එන්නේ නෑ නේද?" තාත්තා හදිසි යමක් මතක් වුණා මගෙන් අහපුවාම වෙනදා වගේ මට හිනාවක් ගියේ නෑ.
"එයා කසාද බැන්දානේ තාත්තේ.." එතැනින් පස්සේ තාත්තා ඒක ගැන ඇහුවේ නෑ. අපි ඒ ගැන කතා කළේත් නෑ.

ඔය ගාල්ලේ ළමයා තමයි, මගේ ජීවිතයේ ඉඳපු හොඳම යාළුවා. ඉස්සර අපි පැය දෙක තුනක් දවසකට කතා කරනව. මනුස්සයෙක්ට තව මනුස්සයෙක් එක්ක එච්චර කතා කරන්න දේවල් මොනවද තියෙන්නේ කියලා අද හිතුනත් අපිට සෑහෙන්න ප්‍රශ්න ඒ දවස් වල තිබුණා.
ආක්ටික් වල පෝලර් බියර්ලා වඳ වෙච්ච එක ගැන, න්‍යෂ්ටික බෝම්බය හදන්න අයිස්ටයින් වගේ මනුස්සයෙක් වක්‍රව දායක වෙච්ච විදිය ගැන, මහත්මා ගාන්ධි ඇත්තටම අවිහිංසාවාදියෙක් ද, අඛණ්ඩ භාරතයක් වෙනුවෙන් ධර්මාශෝක ෆිලෝසොපි හරහා දේශපාලන බලය ව්‍යාප්ත කළේ කොහොමද, ඇත්තටම ලෝකයට මාක්ස්වාදය වැඩ කරයිද, නූතන ලිබරල් ප්‍රතිපත්ති වලින් ලෝකය දුවන විදිය ගැන, සාත්‍රේගේ සාංදෘෂ්ටිකවාදයට අනුව මිනිස් ජීවිතය ගොඩ නගන්නේ කොහොමද, මනෝ විශ්ලේෂණ වාදය එක්ක සම්බන්ධකම් වල නියම තත්ත්වය මොන වගේද, ලංකාවේ ආහාර සංස්කෘතිය ප්‍රදේශයෙන් ප්‍රදේශයට අන්‍යයතා ගොඩ නගාගෙන ඉන්නේ කොහොමද, මිනිස්සු ආදරය කරනව කියලා කරන ලබ්බ ඇත්තක් ද, හදිසි මරණ පරීක්ෂණයකදි මනුස්සයෙක්ව විච්ඡේදනය කරලා රහස් හොයන්නේ කොහොමද,
වගේ ප්‍රශ්න ගොඩකට උත්තර හොයන්න වගේම කතා කරන්න අපිට තිබුණා.

නිවාඩුවක් ලැබුණ හැටියේ එයා මෙහේ දුවගෙන ආව. මං එයාට අපි ජීවත් වෙන ලෝකය පෙන්නුවා. මං ගාල්ලට ගියාම එයා මට දකුණ කියන වෙනම රට පෙන්නුවා. මුහුදු වතුර එක්ක මුහුදු කෑම මං විඳ ගත්තා. මාටින් වික්‍රමසිංහ හොයාගෙන ගියා.
හොඳ අරක්කු වීදුරුවක රහ මොකක්ද කියලා අපි බැලුවා. අපි කෑ ගහලා කියපු සිංදු තිබුණා. අපි අත් අල්ලගෙන නටපු වෙලාවල් තිබුණා. අපි මහා හයියෙන් හිනා වෙච්ච තැන් ඕනෑවටත් වැඩියෙන් අපිට තිබුණා. රෑ පාන්දර වෙනකං හඳ එළිය යට බියර් වීදුරුවක් තොල ගාමින් අපිට නින්දක් නැතුව කතා කරන්න දේවල් තිබුණා.
මං දැන් අවුරුදු ගානකින් කතා කරලා නෑ. කතා කරනවා කියන්නේ මිනිස්සු එක්ක තියෙන සාමාන්‍යය සන්නිවේදනය නෙමෙයි. කතා කරනවා කියන්නේ ඊට වඩා වැඩි දෙයක් ! අපේ ආත්මය වෙන කෙනෙක් ! අපි අපේ ආත්මය එළියෙන් තියන්නේ තෝරාගත්තු ආත්මයක් ළඟදි විතරයි. ප්‍රහර්ෂයක් තියෙන, පිළිගන්න, විනිශ්චය නොකරන ආත්මයන් ළඟදි අපි අපිව එළියෙන් තියෙනව.

ඕනම මිනිහෙකුට තමන්ගේ ගුහාවෙන් එළියට ඒමේ උවමනාව තියෙනව. මිනිස්සු ඒකට විවිධ වූ විධික්‍රම පාවිච්චි කරනව. සමහර අය සෙක්ස් වලදි කරනව. සමහර අය ආදරේදි කරනව. සමහර අය රස්සාවේදි කරනව. සමහර අය විනෝදාංශ ඇතුළේ කරනව. ඒත් කවුරුත්ම තමන්ගේ ආත්මය පරිපූර්ණව ගුහාවෙන් එළියට ගන්නේ නෑ.
එහෙම අවස්ථාවක් ලැබෙන්නේ යාලුකමකදි විතරයි. ඒත් එවැනි යාළුකමක් තුළදීත් අල්පයක් වූ යාලුකමක් ගාවදි විතරක් ඒකට ඉඩ ලැබෙනව.

මං එදායින් පස්සේ කතා කලේම නෑ. මං දැන් කරන්නේ මිනිස්සු කියන දේවල් අහගෙන ඉන්නව විතරයි. මිනිස්සු එයාලගේ ආත්මයන් මගේ ඉස්සරහා තියලා යනව. මං ගුහාවේ ඉඳගෙන ඒ මිනිස්සුන්ගේ ආත්මයන් දිහා බලාගෙන ඉන්නව. මං මගේ ආත්මය එදායින් පස්සේ කොතැනකදීවත් එළියට දැම්මේ නෑ.

යාළුකම කියන්නේ බලාපොරොත්තුවකින් තොරව පරිත්‍යාගය මත සිද්ධ වෙන සමාජ බන්ධනයක් ! ආදරය කියන්නේ බලාපොරොත්තුව සහිතව ගොඩ නැගෙන දෙයක් ! ආදරයට වඩා යාලුකම හැම වෙලාවකම පරම පූජණීයයි කියලා මං හිතනව. මොකද හොඳ යාළුකම් මිස හොඳ ආදරයන් මට මුණ ගැහුණේ නෑ.

ගොඩක් වෙලාවට කෙල්ලෝ මට කිව්වේ, ඔයාව නැති වුණොත් මං ලේසියෙන් අත ඇරලා ඉන්නේ නෑ, මං ලෝකේ අනිත් පැත්ත හරවලා හරි ඔයාව ගන්නව කියලයි. ඒත් උන් මාව ලේසියෙන්ම අත ඇරලා දැම්මා.

ඒත් බලාපොරොත්තුවකින් තොරව ගොඩ නැගුණ හොඳ යාළුවෙක් මාව අල්ලා ගත්තේත් නෑ. මාව අතෑරියෙත් නෑ. මට නිදහසේ පවතින්න ඉඩ දුන්නා. මගේ ආත්මය ගුහාවෙන් එළියට ගත්‍තා.

ඉතිං මං තාමත් හොඳ යාළුවෙක්ව හොයනව. මගේ ආත්මය ගුහාවෙන් එළියට අරගෙන පෙන්වන්න එකෙක්ව හොයනව.
- Sandaru Dasanayake


Do you miss me .

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS

ගිණියම් ඉර - සද සිසිලස .

මේ 2015 මැයි මාසේ .


කාලය ගෙවෙනවා.

සේන බටගොඩ මෙහෙම කියනවා…

අපි කවුරුද ?.........

සී සී කඩ විසිරුන සිතිවිලි

දිය බුබුලේ නලියන පෙන කැටි වාගේ

නැතිව     

හුදකලාවේ තනිවී සිටියම

සිහින ආකරේක වැටුනා වාගේයි

නිමක් නෑ

මොහොතින් මොහොතට ගෙවෙනා යන කාලය

දැනෙනවා කාටා…..ත් එක විදියට ……….

මේ 2026 මැයි මාසේ.

පසුගිය දවස් කිහිපයක අනුරාධපුරයේ. අපිට නුහුරු ඉර …..

ගිණියම් ඉර…

පොලොවේ අඩිය තියන්න බෑ ..

ඒ මදිවට පූජා නගරයට පාවහන් හිස් වැසුම් අකැපයි !!.

ගිණියම් ඉර බහිනවා

ඩිංගෙන් ඩිංග සිසිලස දැනෙනවා. වැස්ස පටන් අරන් සිසිලසේ පූජා නගරයේ ඇවිදින්න යන සිහිනය බොද වෙනවා.


ගිණියම් ඉර

සද සිසිලස

අතරේ හොයනවා හොයනවා

අපි කවුරුද  ?

ගී යකි ලොව 

සිතුවම් කල

අතරේ අහනවා බලනවා 

මේ අපි කවුරු ද  ?

අපිව අදුරා ගන්න බැහැ …………….අපිව කියවා ගන්න බැහැ.

අපි අතරමං වෙලා.

ඉර බැස යන ගොම්මන් යාමේ 

තරු එක දෙක දිලිසෙන කළු  ආකාසේ 

ඇහෙනා රිද්මේ නැහැවී

ඇදී යන්නේ ඈතින් ඇතට පාවි.

සුවද සේ

මෙහොතින් මොහොතට ගෙවෙනා කාලය

දැනෙනවා කාටා.....ත් එක විදියට


Do you miss me .

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS