RSS

පාට කණ්නාඩි කරන වින්නැහිය


පක්ෂපාතීත්වය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වේ, සමහර අය දේශපාලනඥයින්ට හෝ පක්ෂවලට පක්ෂපාතී වන අතර අනෙක් අය රටට පක්ෂපාතී වෙති. 
 
සමහරුන්ට දේශපාලනය යනු සමාජ අවශ්‍යතාවයක් පමණි. 
 
නමුත් පිරිසකට එය ආගමක්. රටට පක්ෂපාතී මිනිසුන්ට වැදගත් වන්නේ ප්‍රතිපත්ති, ක්‍රියාමාර්ග, ප්‍රතිව්‍යුහගත කිරීම් මිස පුද්ගල පෞර්ෂයන් හෝ පක්ෂ නොවේ. 
මිනිසුන් තම විශ්වාසයන්, දැනුම සහ බුද්ධිය අනුව හැසිරේ. නූගත් සමාජශීලී නොවන මිනිසුන් මෙන්ම දැනුම ඇති උගත් මිනිසුන් අන්ධ භක්තීන් හා විශ්වාස තුල සැරි සරයි. එලෙසින්ම උගත් හා බුද්ධිමත් පුද්ගලයින් පවා විවිධ විශ්වාසයන් දරයි. එනමුත් මේ කුලක තුනක ප්‍රතිචාර හා ප්‍රතිඵල එකිනෙකට වෙනස් වේ. බොහෝ දෙනෙක් විවේචන වලට, තර්කානුකූල සත්‍ය පිලිගැනීමට හෝ විවිධ මතවලට කැමති නැත.
මේ කියන්න යන්නේ, වර්තනමාන ශ්‍රී ලාංකික දේශපාලනය මුල් කරගෙන කිසියම් ශ්‍රේෂ්ඨ අරමුණක් වෙනුවෙන් පෙනී සිටින හා සාමකාමීවත් සදාචාරාත්මකවත් සංවාද කරන, කිසියම් විශ්වාසයකින් බලා හිඳින මහත්මාවරුන් ගැන නොවේ. 
බෙරයට ගහන විට මහ හඬින් ශබ්දය නිකුත් වේ. ඇතුල හිස්‍ ය. එවැනි මාර පුත්‍රයන් රාශියක් වත්මන් දේශපාලන සන්දර්භය තුල ඔවුන් කල ලබ්බක් නැතත් උද්දාමයෙන් හා ඉතාමත් අසික්කිත ලෙස කරන රඟපෑම ගැනය. එසේම සූදානම් වී නොසිටි යන යන තැන හාන, අං දෙකක් හා නැට්ටක් විතරක් නොමැති මෝඩ දේශපාලකයින් හා උන් වෙනුවෙන් කුලල්කා ගන්නා මිනිසුන් ගැනය. 
 
දේශපාලනය අන්ධ ඇදහිල්ලක් ලෙස සලකන පුද්ගලයින් සමඟ කටයුතු කරන විට, අප ප්‍රවේශම් විය යුත්තේ එබැවිනි. ඔවුන් තණකොළ නිල් යැයි විශ්වාස කරන්නේ නම්, කිසිදු තර්කනයක් ඔස්සේ ඔබට තණකොල කොල පැහැති බව වටහා දෙන්නට නොහැකි වනු ඇත. මේ සියල්ල රැඳී ඇත්තේ මිනිසාගේ සමාජ පසුබිම, සංස්කෘතිය සහ අධ්‍යාපනය මත පදනම්වයි. දේශපාලනය ආගමක් කරගත් මිනිසුන් කොයි මොහොතේ හෝ හාස්කමක් සිදුවී තම බලාපොරොත්තු සපල වේ යැයි බලාහිඳී! 
 
රටට ආදරය කරන, රටට පක්ෂපාතී මිනිසුන් සියල්ල හාස්කමකින් සිදුවන තෙක් හෝ දේශපාලකයින්ට ඕන දේ සිදුකරන තෙක් බලා සිටින්නේ නැත.

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS

හේන්පිටගෙදර සිට වැලිකඩ හරහා



 

...බෞද්ධාලෝක මාවතේ පිහිටි පොලිස් පරීක්ෂණ ස්ථානයේ රාත්‍රිය ගත කර, දෙවෙනි දින මැගසින් බන්ධනාගාරයට යවනු ලැබූ මම කාමර කිහිපයක් ඇති වාට්ටුවක එක් කාමරයක නතර කරනු ලැබීමි.
පසුවදාට එළි විය. 
මා අත තිබුණේ පෑන පමණකි.
එහි පාලක නිලධාරී මහතා ජෝර්ඩන් නමැති ලංසි මහතෙකි. ඒ මහතා කාරුණික පුද්ගලයෙකි. එසේම බුද්ධි සම්පන්න ය. මම ඒ මහතාගෙන් ලියන්නට ඉඩ තිබේදැයි ඇසීමි. එයට ඉඩ ඇති බව දැනගත් පසු කරදාසි ද ලබාගෙන 'දුටුගැමුණු රජුගේ චරිතය' පාලි පද්‍යයෙන් වර්ණනාත්මකව රචනය කිරීම ආරම්භ කළෙමි. මාසයකින් එම පොත අවසන් කිරීම මගේ එකම අධිෂ්ඨානය විය. 
...ඒ ගෙතූ අවස්ථාවේ මා ළඟ කිසිම පොතක් පතක් නොවීය. දසමහ යෝධයන්ගේ චරිත දැක්විය යුතු අවස්ථාවෙහිදී ඔවුන්ගේ නම්, ගම් සහ චරිත ආදිය මට මතක නැත. ඒවා කෙසේ දැන ගත හැකි ද ? යන ප්‍රශ්නය මා සිතට නැගිණි. සිරකරුවන් සඳහා එහි පුස්තකාලයක් ද තිබේ. මම එහි ගොස් එකිනෙකාගේ අතටම දිය වූ කබල් පොත් ගොඩ අදින විට 'දසමහ යෝධයෝ' යන නමින් මුද්‍රිත කුඩා පොතක් හමුවිය. එයින් මගේ ගැටලුව ලිහී ගියේ ය.
....පරිච්ඡේද 18කින් සහ පාලි පද්‍ය 1106කින් එය මාසයක් තුළදී සම්පූර්ණ කළෙමි. එම වර්ෂයේ ශ්‍රී ලංකා සාහිත්‍ය මණ්ඩලය මගින් පාලි පද්‍ය සඳහා පිරිනමන ලද ත්‍යාග ද එම පොතට හිමිවිය.
...මගේ ජීවිත කාලය තුළ සාර්ථක, ප්‍රයෝජනවත් ජීවිතයක් ගත වූ කාලය කවර කාලයදැයි යමෙක් මගෙන් ප්‍රශ්න කළහොත් මා පිළිතුරු දෙන්නේ මැගසින් බන්ධනාගාරය තුළ මා ගත කළ අවුරුදු 03 හා මාස කිහිපය යයි කියමි. එයට හේතුව නඩුවට උසාවියට යන එන හා එහි ගෙවන කාලය හැරුණු විට හැම මොහොතක්ම ධර්ම ශාස්ත්‍රීය සේවය සඳහා මට කැප කළ හැකිවීම ය. මම එම බන්ධනාගාරය තුළ දින 1228ක් ගත කළෙමි.
...මගේ බන්ධනාගාර ජීවිතය ඉතාම සාර්ථක ජීවිතයක් බව එහිදී රචනා කළ පොත් 28න් ඔබට ද පැහැදිලි වනු ඇත.
- අපවත් වී වදාළ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ අධිකරණ සංඝනායක රාජකීය පණ්ඩිත හේන්පිටගෙදර ශ්‍රී ඤාණසීහ නාහිමිපාණන් වහන්සේ
අදට යෙදෙන හේන්පිටගෙදර ශ්‍රී ඤාණසීහ නාහිමියන්ගේ 44වැනි ගුණානුස්මරණය නිමිත්තෙන් උපුටාගන්නා ලද්දේ උන්වහන්සේ විසින් රචනා කරන ලද 'හේන්පිටගෙදර සිට වැලිකඩ හරහා' ස්වයං ලිඛිත චරිතාපදානයෙනි.
--හසිත චාමිකර ගුණසිංහ 


  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS

කර්නල් මුහම්මර් ගඩාෆි

 




කර්නල් මුහම්මර් ගඩාෆි මේ සියල්ල දැන සිටියාක් මෙන් ය. ඇමරිකාව විසින් ඉරාකය ආක්‍රමණය කොට, එහි නායක සදාම් හුසේන්ව ඝාතනය කිරීමෙන් පසු පැවැත්වුණු 2008 අරාබි ලීග් සමුළුවේදී, එවකට ලිබියානු නායක ගඩාෆි මෙසේ පැවසීය."ඉරාකය ආක්‍රමණය කිරීමටත්, විනාශ කිරීමටත්, ඉරාක ජාතිකයන් මිලියනයකට ජීවිත අහිමි කිරීමටත් හේතුව කුමක්ද? 
අපගේ ඇමරිකානු මිතුරන්ට මේ ප්‍රශ්නයට පිළිතුරු දීමට ඉඩ හරිමු' ඇයි ඉරාකය? හේතුව කුමක්ද? බින් ලාඩන් ඉරාක ජාතිකයෙක්ද? 
නැහැ. 
නිව්යෝක් නගරයට පහර දුන්නේ ඉරාක ජාතිකයන්ද? 
නැහැ. 
පෙන්ටගනයට පහර දුන්නේ ඉරාක ජාතිකයන්ද? 
නැහැ. 
ඉරාකය සතුව බහුජන විනාශකාරී අවි (Weapons of Mass Distruction - WMD) තිබෙනවාද? 
නැහැ.

ඉරාකය සතුව WMD's තිබුණා නම්, ඒ වුණත් පාකිස්තානය සහ ඉන්දියාව සතුවත් න්‍යෂ්ටික බෝම්බ තිබෙනවා නොවේද? චීනය, රුසියාව, බ්‍රිතාන්‍යය, ප්‍රංශය සහ ඇමරිකාව සතුවත් තිබෙනවා නොවේද? මේ සියළු රටවල් විනාශ කර දැමිය යුතුද?
හොඳයි, අප ඒ WMD's සහිත සියළු රටවල් විනාශ කර දමමු. විදේශ බලවන්තයෙකු පැමිණ, අරාබි රටක පැලපදියම් වී එරට ජනාධිපතිවරයාව එල්ලා දමනවා. අප පසෙකින් වාඩිවී සිනාසෙමින් සිටිනවා.

සදාම් හුසේන්ව එල්ලීම පිළිබඳව ඔවුන් පරීක්ෂණයක් නොපවත්වන්නේ ඇයි? යුධ සිරකරුවෙකු එල්ලා දමන්නේ කෙසේද? අරාබි රටක ජනාධිපතිවරයෙකු, අරාබි ලීගයේ සාමාජිකයෙකු යනු සුළුපටු පුද්ගලයෙකු නොවෙයි.
සදාම් හුසේන්ගේ ප්‍රතිපත්ති ගැන හෝ අප අතර තිබූ දේශපාලනික මතභේද පිළිබඳ මා කතා කරන්නේ නැහැ. අප හැමෝටම ඔහුත් සමග දේශපාලනික මතභේද තිබුණා. මේ ස්ථානයේ සිටින අප අතරත් එවැනි මතභේද තිබෙනවා. මේ ශාලාවෙන් පිටතදී අපට බෙදාගන්නට කිසිවක් නැහැ.

සදාම් හුසේන්ව ඝාතනය කිරීම පිළිබඳ පරීක්ෂණයක් නොපැවැත්වෙන්නේ ඇයි? 
සමස්ත අරාබි නායකත්වයම එල්ලා දමා අවසන්. අප පසෙකින් වාඩිවී සිටින්නේ ඇයි? ඔබගෙන් ඕනෑම කෙනෙකු මීළඟ වින්දිතයා විය හැකියි. ඔව්!

ඇමරිකාව, අයතුල්ලා අලී ඛමෙයිනිට එරෙහිව සදාම් හුසේන් සමග එක්ව සටන් කළා. ඔහු ඔවුන්ගේ මිතුරෙක්. 
ඩික් චේනි සදාම් හුසේන්ගේ මිතුරෙක්. 
ඉරාකය විනාශ කර දැමූ සමයේ ඇමරිකානු රාජ්‍ය ලේකම් ඩොනල්ඩ් රම්ස්ෆෙල්ඩ් යනු සදාම් හුසේන්ගේ සමීප මිතුරෙක්. 
අවසානයේදී ඔවුන් ඔහුව විකුණා එල්ලා දැමුවා.
ඔබ ඇමරිකාවේ මිතුරන්. 
අපි මෙසේ කියමු, ඔබ පමණක් නොවෙයි, 'අපි ඇමරිකාවේ මිතුරන්'. එහෙත් එක්තරා දිනෙක ඇමරිකාව විසින් අපවත් එල්ලා දමාවි"
- මුහම්මර් ගඩාෆි, 2008 අරාබි ලීග් සමුළුවේදී.
- - - - - - - - - -
2008 අරාබි ලීග් සමුළුව පැවැත්වුණේ මාර්තු 29 වැනිදා සිරියාවේ දමස්කස් අගනුවරදීයි. ඉන් වසරකට පසුව, 2009 අරාබි ලීග් සමුළුවේදී ලිබියානු නායක මුහම්මර් ගඩාෆි, සවුදි අරාබියේ අබ්දුල්ලා රජු බ්‍රිතාන්‍යයේ නිර්මාපිත, ඇමරිකානු ආරක්ෂාව ලබන්නෙකු බව ඔහුට ඍජුවම ප්‍රකාශ කළේය. විශාල ඇමරිකානු කඳවුරු කිහිපයක් සවුදි අරාබියේ පිහිටුවා තිබීම සහ අබ්දුල්ලා රජු උග්‍ර ඇමරිකානු හිතවාදියෙකු වීම ඊට හේතුවයි. ගඩාෆි-අබ්දුල්ලා අතර උණුසුම් වාදයක් ඇතිවෙද්දී ඊජීප්තු නායක හොස්නි මුබාරක් මැදිහත්ව ප්‍රශ්නය සමථයකට පත්කළේය.

2009දී 'අරාබි වසන්තය' නම් ව්‍යාපෘතිය පණගැන්විණි. ඒ සමග ඇතිවූ තරුණ අරගල, ඝාතන, කුමන්ත්‍රණ, කැරලි සහ ප්‍රචණ්ඩකාරී සිදුවීම් වලින් පසුව ටියුනීසියාව, ඊජීප්තුව සහ ලිබියාව යන රටවල් වල පාලකයන්ගේ වෙනසක් ඇතිවිය.

සිරියාව සහ යේමනය දරුණු සිවිල් යුද්ධ වලට මුහුණපෑවේය. බහරේන්හිද සිවිල් නැගිටීම් දැකිය හැකිවූ අතර මේ බොහෝ රටවල් වල ආර්ථිකයන් කඩාවැටුණි. මහජනයා අන්ත දුගීහාවයට පත්විණි. ඒ රටවල් තුළ අන්තවාදීන් සහ අවි අත දරාගත් තරුණයන්ගේ කල්ලි සුලබ විය.
උක්ත නිර්භීත කතාව පැවැත්වූ මුහම්මර් ගඩාෆි, 2010 ඔක්තෝබර් 20 වැනිදා, ලිබියාවේ National Transition Council (NTC) නම් සංවිධානය ප්‍රමුඛ මහජනතාව විසින් මහමග දිගේ ඇදගෙන ගොස්, වෙඩිතබා ඝාතනය කළේය. එතැනින් පසුව ලිබියානු පාලන තන්ත්‍රයේ කඩාවැටීම ඇරඹිණි.

2012දී ගාසා තීරයේ යුද්ධ ගැටුම් යළි ඇවිලිණි. එය මෙතෙක් නොනවත්වා ක්‍රියාත්මක ය. 2023දී ලෙබනනයේ හිස්බුල්ලා ගරිල්ලන් සහ ඊශ්‍රායලය අතර ගැටුම් වැඩි විය. ඊශ්‍රායල-පලස්තීන ගැටුම්ද උත්සන්න විය. එමෙන්ම රතු මුහුදේ බලය තහවුරු කරගැනීම වෙනුවෙන් ඊශ්‍රායලය සහ යේමනයේ හූති ගරිල්ලන් අතර ගැටුම් පවතියි.

එකල ජාත්‍යන්තර ප්‍රවෘත්ති වලට අනුව ගඩාෆි යනු ඒකාධිපතියෙකි. ඔහු සාන්තුවරයෙකු යැයි කිව නොහැකිය. එහෙත් ගඩාෆි විසින් 2008දී පැවැත්වූ උක්ත කතාව තුළ, මෑත කාලීන ගෝලීය දේශපාලන ඉතිහාසය පිළිබඳ බොහෝ තොරතුරු ගැබ්ව ඇත. ඉතිහාසය සියල්ලට සාක්ෂි දරමින් තිබේ. ඊශ්‍රායල්-ඉරාන ගැටුම් යනු එහි වර්තමානයයි.

"මේ හෑලි අපට මොකටදැ?"යි විමසන ඕනෑම කෙනෙකුට දියහැකි පිළිතුර වන්නේ, "කුසට පෙර මොළයට සංවේදනා දැනෙන බවත්, ඒවාට සංවේදී වීම වැදගත් බවත්" ය.

- අසංක හදිරම්පෑල.

මුණු පොතට - අයුලි නුගේරා.

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS