RSS

කාලයේ අරුමය

කාලය බොහෝ අරුමයන් මවනවා
අපේ දැනුම සහ අවබෝධයේ තරම කාලයේ අරුමයෙන් ඇති කරන්නේ විශාල පරතෙරයක්. ජීවිතයෙන් වසර හැටක පමණ කාලයක් ආපසු ගමන් කල විට මා එදා අවුරුදු පහලොවක පමණ ගැටයෙක්.
එකලත් අදත් සමාජ විශ්වාශයන් බරපතල ලෙස අභියෝගයටත් වෙනස් වීම් වලටත් පත්වෙලා.
අද පුංචි දරුවෙකුට ඇති අවබෝධය සහ තාර්කික බුද්ධිය එදා අපිට තිබිලා නැහැ කියලා මට දැන් හිතෙනවා. අපි එදා ගතානුගතිකවම හිතලද ?.
එකල අපේ ජීවන රටාවනුත් වෙනස් .
ගොවියාගේ පුතු ගොවිපලට රැගෙන යනවා. ඒ් වගේම බාල පරපුර එහෙම ගියෙත් කමැත්තෙන්. මවුපිය සහයට ගොවිපලට යන්නේ පෙළඹවීමකින් තොරවයි. මගේ පියා වෙලෙන්දෙක්. මමත් ඔහු පවත්වාගෙන ගිය වෙළද සැලට උදව්වට යාම පුංචිකාලේ සිටම සිදුවු දෙයක්. වයසේ තරමට සුළු සුළු අත් උදව් දීමෙන් ඇරඹී මේ කටයුතු පසුකාලය වන විට පියාගේ අනුප්‍රාප්තිකයා බවට පත්කීරිම දක්වා පුහුණුවක් වුනා.
මේ මුලපිරීම බරපතල සාකච්ජාවක් සදහා වගේ පෙනුනත් වියමන වෙන්වෙන්නේ සරල සිදුවීමකින් තැතිගත් මනස මට කල හදියක් ගැන කීමට සහ අපේ පැරන්නන් ස්වභාව ධර්මය උපයෝගී කරමින් කල නිෂ්පාදනයක් ගැන කීමටයි.
මම පලවන වසරේ සිටිනා මගේ මුණුපුරා තරම්වත් බුද්ධිය භාවිතා කරලා නැහැ කියන සිද්ධාන්තය තහවුරු කරගන්නා කතාන්දරයක්. තවත් අතුරු කතාවක්.
කතාවට ප්‍රවේශවුනේ තාත්තාගේ වෙළද සැලේ අත් උදව්වට ගිය බව කියමින්නේ. අපි ජීවත්වු සහ තාත්තාගේ ගණුදෙණු කරුවන් වාසය කල වපසරිය විශාල ප්‍රදේශයක්.එකල අක්කර දහසකටත් අධික ප්‍රදේශයක් පුරා පැතුරන තේ වතුයායක් මේ විශාල ප්‍රදේශයට අයත් වුනා. ( අද මෙ වතුයාය අක්කර සීයයකට පමන සීමා වෙලා අනෙක් නව සීයයම වල් බිහිවෙලා. අපට සමෘධිමත් ආර්ථිකයක් පැවතිය හැකිද ? )
වතු යායේ සේවය කල වතු කම්කරුවන් ආහාර පාන වගේම ඇදුම් පැළදුම් වැනි අවශ්‍යතා මාසික ණය පදනම මත මිලදී ගත්තේ පියාගේ වෙළද සැලෙන්. සෑම මසකම දහවෙනිදා හෝ ඊට ආසන්න දිනක කම්කරු වැටුප් ගෙවන විට මටත් මගේ වසසේ සිටි මගේ නැන්දාගේ පුතාගේත් රාජකාරිය වුනේ කුඩා පොතක සටහන් කරගත් ඒ ඒ ගණුදෙණු කරුවන්ගේ ණය මුදල් එක්රැස්කරගෙන ඒම සදහා ඔවුන් විසු නිවෙස් වලට යාමයි. දින දෙකක් ගතවු මේ ගමන අපි දෙදෙනාට විනෝදමත් චාරිකාවක්. සෑම වාරයකම අපි දෙදෙනාට ආපසු නිවෙස් වලට ඒමට සිදුවන්නේ දෙගොඩ හරියේ රාත්‍රී දොලහට එකට.
1976 දක්වා අවුරුදු විස්සකට අධික කාලයක් කරන ලද මෙම කාරිය අවසන් වුනේ සිරිමා – ශාස්ත්‍රී ගිවිසුම නිසා වතු කම්කරුවන් ශ්‍රී ලංකාවෙන් පිටත්වීමත් සමගයි. එදා පැවති අක්කර දහසක් පමණවු වතුයාය අක්කර සීයයකට පමණ සීමා වීම ඇරඹුනෙත් මේ හේතුව නිසයි.
ඉතින් ….. එක් දවසක අපි දෙන්නා ඒ කිව්වේ මස්සිනාලා දෙන්නා මහ රෑ ඝණ අන්දකාරය මැදින් ගෙදර එනවා. පෙරදා ගෙන ගිය විදුලි පන්දම් දෙකේ බැටරි කලා මැදිරි එළි වගෙයි. බැටරි බැහලා. මෙම බැටරි රෑ දෙකක් අපි බාවිතා කරලා. අතුරු පාරවල් හරහා අපි ගමන ඉක්මන් කරනවා.
තේ වතු යාය අවසන් වෙන්නේ වෙල් යායක් මැදින් වැටී ඇති අතුරු මගකින්. අපි දෙන්නට ඇහෙනවා අමුතු සද්දයක් “ ටකස් – ටොකස් , ටකස් – ටොකස් , ටකස් – ටොකස් ” . නොනැවතීම මේ ශබ්දය ඇහෙනවා.අපිට මතක් වෙනවා අපි ගමන් කරන බිම් කඩ පිළිබදව. ගම්මුන් බලි තොවිල් කර මල් තට්ටු ගෙනවිත් දමන තැන, යකුන් ප්‍රේතයන් අල්ලා ගෙන විත් ඇණ ගසන සුවිසල් ඇට’ඹ ගස.
අපි නිශ්සබ්දයි. ගල් ගැහිලා. තීරණයක් නැතිව හිටිවන ඉන්නවා . “ ටකස් – ටොකස් , ටකස් – ටොකස් , ටකස් – ටොකස් ” . නොනැවතීම ඇහෙනවා.
“අයියේ …(මස්සිනා ) මට කියනවා. මොකද කරන්නේ ?
අපි ආපහු යමු ” මම කියනවා .
අපි ආපසු හැරී ප්‍රධාන මාර්ගය තෝරා ගෙන සැතපුම් භාගයක් විතර ආපසු ගොස් ප්‍රධාන මාර්ග ඔස්සේ යලිත් එනවා. ගමන සැතපුම් එකයි භාගයක් විතර දික්වෙනවා.
මේ එන අතර වතු කම්කරුවන්ගේ සොහොන් කොත් කිහිපයක් පහුකරන්න ඕන. මේ සොහොන් කොත් අතර එක් සොහොනක් ගම් වැසියන් අතර සුප්‍රසිද්ධ සෙහොනක් තියෙනවා. හදුන්වන්නේ “කනක්කයාගේ සොහොන ”කියලා.මෙතන පිලිබද කතා තියෙනවා. කනක්කයා කරන හොල්මන් ගැන.
මේ කනක්කයාගේ සොහොන පහු කරන අපි දෙන්නාට ඉස්සරහට යන්න දෙන්නේ නෑ. අපි පසු පසට තල්ලු කරනවා විශාල මාර ගස් විලාප දෙනවා. අපිට බුදු හාමුදුරුවෝ සිහිවෙනවා. ඉතිපිසෝ ගාථාව අපි මහ හයියෙන් ගායනා කරනවා.වෑයමෙන් ඉස්සරහට තල්ලු වන අපි ඒ බාධකයත් ජය ගෙන යාන්තම් ගෙදරට එනවා.


පහුවදා දෙන්නටම සහලෝල උණතොවිලයක් නොකර බේරුනත් … තෙල් සාත්තුවකින් යාන්තම් බේරුනා.
සතියකට විතර පස්සේ අපි දෙන්නට ලැබුන විවේකයකින් මේ “ටකස් – ටොකස් ” ජංජාලේ සුලමුල හොයා ගත්තා . මහ දවලුත් “ ටකස් – ටොකස් , ටකස් – ටොකස් , ටකස් – ටොකස් ” . නොනැවතීම ඇහෙනවා. ඇහෙන්නේ වෙල් යායෙන් එන හඩ ඔස්සේ ගිහින් බලපුවම දිය පාරකට සවි කර තිබු “දිය උගුල” ක් රාජකාරිය ඉටුකරනවා .
අපි පිටුපසට තල්ලු කල බල වේගය සොයාගන්න නම් සෑහෙන්න කාලයක් ගතවුනා. ජුනි – සැප්තැම්බර් මාසවල මේ ප්‍රදේශයට තද හුලං හමන කාලයක්.මේ කියන බිම් කොටස හරහා හමන තද සුළග වාහන වලට පවා ප්‍රතිරෝධ දක්වනවා. ‘කනක්කයගේ සෙහොන’ පිහිටුවා තියෙන්නේ මේ සුළං කලාපයේ . ‘කනක්කයගේ සෙහොන’ අදත් තියෙනවා. තද හුලං තියෙන දවස් වලට අදත් මේ හරියෙන් යන්න අපහසුයි. අපි දෙන්නට එදා ‘කනක්කයගේ සෙහොනේ’ අභිරහස නිරාකරනය කරගන්න බැරිවුනා.
වියමන දික්වෙනවා.
අපේ පුංචි එකා – මුනුපුරාට පොඩි අසනීපයක් හැදෙනවා. මම යෝජනා කරනවා පැටියෝ අහවල් සීයට කියලා තෙල් ටිකක් මතුර ගෙන එන්නද කියලා. “සීයේ එයාට පියාඹන්න පුළුවන් වෙන්න මතුරන්න පුළුවන් ද ?. ” පුංචි එකා මගෙන් අහනවා.
එහෙමයි. කාලය වෙනස් වෙලා තියෙන්නේ
.

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS

බෙලිහුල්ඔය Belihuloya

 





















වලගම්බා,මායාදුන්න රාජ්‍යකාලයන් සහ මහනුවර රාජ්‍ය කාලයඉංග්‍රීසින්ගේ තේ වගා ආරම්භකල කාල පරාසවල යම් යම් මතක ඉතිරිව තිබෙනවා.වලගම්බා,මායාදුන්න රජවරුන් ඉදිකලා යයි සැලකෙන විහාරස්ථාන. මහනුවර රාජ්‍ය කාලයයේ අස්වැද්දු කෙත්වතු සම්බන්ධ පුරාවෘත්තයන් විසින් අපට මේ ‍‍ඓතිහාසික පුරවරයක කරුනු කාරනා කියා දෙනවා.

ඉංග්‍රීසින්ගේ සමයේ ඉදිවු තානායම තමයි අද “බෙලිහුල්ඔය තානායම” ලෙස ප්‍රසිද්ධියට පත්ව තියෙන්නේ . මෙය එකල යුරෝපීය වතු පාලකයන්ගේ සංචාරක නවාතැනක් සහ රත්නපුර සිටි සුදු දිසාපතිවරුන්ගේ සංචාරක බංගලාවක්ව තිබී වැඩිදියුනු වු ස්ථානයක්.
බෙලිහුල්ඔය තානායම ලගින් ඇරඹෙන අතුරු මාර්ගය ඉංග්‍රීසින්ගේ සමයේ හෝර්ටන් තැන්න හරහා නුවරඑළිය දක්වා වැටී තිබූ අශ්වයින්ට යා හැකිසේ සකස්වු මාර්ගයක්. එදා මෙම මාර්ගයේ යුරෝපීන්ගේ ඊලග නවාතැනවුයේ හෝර්ටන් තැන්නේ පිහිටි “පාර් ඉන් FAR INN” තනායම. මෙය දැන් ව්‍යාපාරික කටයුතු සදහා වසා දමන ලද ස්ථානයක්.
වර්තමානයේ මේ මාර්ගය ඔස්සේ කි.මි.15 ක පමන දුෂ්කර පා ගමනකින් හෝර්ටන් තැන්නට පිවිසෙන්න පුළුවන්. මේ ගමන ස්වභාව ධර්මයේ අපුර්ත්වය විදිමින් යා හැකි ගමනක්. ඒත් ඔහිය පැත්තෙන් ප්‍රවේශ මාර්ග සහ දොරටු ඇති කිරීම නිසා මේ පිවිසුමේ හෝර්ටන් තැන්නට ඇතුල්වීම සදහා අවසරගන්න වනජීවී කාර්යාලයක් හෝ නිළධාරීන් නැහැ. ඒ නිසා මේ මාර්ගයෙන් හෝර්ටන් තැන්නට පිවීසීම අනවසර ඇතුල්වීමක් වෙනවා.
ශ්‍රී ලංකා සබරගමුව විශ්ව විද්‍යාලය , සමනල වැව සහ සමනලවැව විදුලි බලා ගාරය ( කිමි 15) පිහිටන්නේ බෙලිහුල්ඔය ආශ්‍රිතව.
A 4 මාර්ගයේ කොළඹ සිට බදුල්ලට යන විට කි.මි 156 -161 අතර දුර බෙලිහුල්ඔය නම්වු සුන්දර ග්‍රාමීය ප්‍රදේශය පසුකර යන්න ඕනි.බෙලිහුල්ඔයට තම අනන්‍යයවු නාමය ලැබෙන්නේ මේ ආරච්චි වසම මැදින් ගලායන සුන්දරවු “ඔය” නිසාවෙන්.
වලවේ ගගේ ප්‍රධානම අතු ගංගාවත් “බෙලිහුල්ඔය” බව සටහන් වුනේ නැත්නම් අඩුවක්. බෙලිහුල්ඔය පටන් ගන්නේ හෝර්ටන් තැන්නෙන්. වර්තමානයේ අවසන්වන්නේ සමනලවැවජලාශයෙන්.
බෙලිහුල්ඔයට අයත් සුන්දරවු දිය ඇලි දෙකක් තියෙනවා. එකක් හෝර්ටන් තැන්නේ බේකර්ස් ඇල්ල. අනෙක බෙලිහුල්ඔය මායිමේ පිහිටා තියෙන ගලගම ඇල්ල . මේ ඇල්ලට “කන්දැත්තේ ඇල්ල ” කියලත් කියනවා. කන්දැත්ත ඇල්ල පිහිටන්නේ මේ ආරච්චි වසමට උතුරු මායිමේ. පරිසර හිතකාමීන්ට , කදු නගින්නනට මේ ඇල්ල නරඹන්න යන්න යන ගමන විනෝද වගේම පාරිසරික අත්දෑකීම් වැඩි කරගත හැකි අධ්‍යාපන චාරිකාවක්.විවිධ ශාක පද්ධතින් ,පාරිසරික සහ දේශගුණික වෙනස්කම් අත්විදින්ට පුළුවන්.
බෙලිහුල්ඔය දේශීය සංචාරකයන්ගේ නවාතැනක් . කොළඹ සිට පැය හතරක් - පහක් ගමනට ගත කරන විට බෙලිහුල්ඔයට ලගා වෙන්න පුළුවන්.පුද්ගලික වාහනයක නම් මීට වඩා අඩු කාලයක් ගන්නවා.
බෙලිහුල්ඔය කොළඹ - බදුල්ල මාර්ගයේ ( ඒ 4 ) කොළඹ සිට කිමී 167ක දුරින් පිහිටනවා.පානදුරේ සිට බදුල්ල දක්වා මාර්ග අංක 64,කොළඹ සිට බදුල්ල දක්වා මාර්ග අංක 99, රත්නපුර සහ බලන්ගොඩ සිට පඹහින්න දක්වා මාර්ග අංක 439 බස් රථ බෙලිහුල්ඔය පසුකරනවා.









  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS

පේරාදෙණිය පැරණි බුරුත පාලම

 පේරාදෙණිය පැරණි බුරුත පාලම



ශ්‍රීමත් එඩ්වර්ඩ් බාන්ස් ආණ්ඩුකාරවරයා ගේ සැලැස්මට අනුව මෙම පාලමේ ඉදිකිරීම් කටයුතු, එවකට රජයේ ඉංජිනේරුවරයෙකු ව සිටි 37වන රෙජිමේන්තුවේ ලුතිනන් ජනරාල් ජෝන් ෆ්‍රෙසර් විසින් ඉටු කර ඇත. මාර්ග ඉදිකිරීම් සහ සිතියම් ඇදීමේ ක්‍ෂේත‍්‍රයන් හි නිපුණතාවකින් හෙඹි මොහු විසින් මෙම පාලමේ සැලැස්ම නිර්මාණය කර ඇත. ඒ අනුව 1826 දෙසැම්බර් මාසයේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කර 1933 ඔක්තෝබර් මාසයේ ගමනාගමන කටයුතු සඳහා විවෘත කර ඇත. ඒ සඳහා කම්කරුවන් 1,200ක ගේ ශ‍්‍රමය භාවිත කර ඇත. බ‍්‍රවුන් ගේ මාර්ග සංවර්ධන කි‍්‍රයාදාමයේ දී උඩරට ආරක්‍ෂාව වෙනුවෙන් බලකොටු ඉදිකිරීම සඳහා යොදවා සිටි කම්කරුවන් ගේ ශ‍්‍රමය ලබාගත් බවට ලිඛිත සාධක පවති. පාලමේ සමස්ත ඉදිකිරීම් සඳහා කහ පැහැති බුරුත දැව උපයෝගි කරගෙන ඇත. සම කාලීන ඉදිකිරීම් ක්‍ෂේත‍්‍රයේ බහුල වශයෙන් යොදා ගෙන ඇති මෙම දැවවල විශේෂත්වය වන්නේ දැඩි බව, කල්පවත්නා බව, දීප්තිමත් බව, තෙතමනයට මෙන්ම වියළි උෂ්ණත්වයට වඩා හොඳින් ඔරොත්තු දීමේ හැකියාව පැවතීම ය. මෙනිසාවෙන් ම මෙම පාලම ‘බුරුත පාලම’ , ‘දැව ආරුක්කු පාලම’ යන නමින් ව්‍යවහාරයට පත් ව ඇත. ඇතැම් වාර්තාවල බුරුත හා මිල්ල යන දැව දෙක ම වාර්තා කළ බව සඳහන් වේ. ඉදිකිරීම් සඳහා උපයෝගිකර ගත් දැව සියල්ල කොළඹ දී අවශ්‍ය ප‍්‍රමාණයට කපා යතු ගා ප‍්‍රවාහනය කර ඇත.බ‍්‍රවුන් ගේ උපදෙස් පරිදි ගලින් නිමවන ලද දෙ පස යා බැමි ආධාරක වශයෙන් උපයෝගි කර ගනිමින් තනි ආරුක්කුවක් සහිත ව නිමවන ලද මෙම පාලමේ දිග උඩි 205ක් හා පළල අඩි 22ක් වේ. ආරුක්කුව සඳහා වක‍්‍රාකාර ති‍්‍රත්ව දැව බාල්ක 4ක් (Trible ribs) හරස් අතට (පාමේ පළලට) ඒවා මැදින් මැද අඩි 5ක දුරස්තර බාවයකින් යුක්තව පිහිටන පරිදි යා බැමි හා සම්බන්ධ කර ඇත. දැව බාල්ක ත‍්‍රිත්වය එක්ව ගත් කල උස අඩි 4ක් වන අතර ආරුක්කුව නිර්මාණයේ දී එකිනෙක අතර අඩි 2ක පරතරයක් තබා නිමවීමේ දී ත‍්‍රිත්ව බාල්කයක සමස්ත උස අඩි 8කි. දැවමුවා මාර්ග පථය සමබරව පිහිටන වන පරිදි, මෙම ති‍්‍රත්ව දැව බාල්ක හතර, තිරස්ව සහ සිරස්ව (ගරාදි වැටක් මෙන්) දැව රීප්පවලින් සම්බන්ධ කර ඇත. සමස්ත පාලම ඉදිකිරීම්වල දී එකඳු යකඩ ඇණයක් හෝ කූඤ්ඤයක් භාවිත නොකර දැව කූඤ්ඤ පමණක් භාවිත කිරීම මෙහි ඇති විශේෂත්වය යි. මේ නිසා පාලම අලුත්වැඩියා කිරීමේ දී ගමනාගමනයට බාධාවක් නොවන පරිදි සහ ආරුක්කුවට හානි නොවන පරිදි කොටස් ගලවා ඉවත් කිරීමට සහ වෙනත් කොටස් පිරිද්දීමේ හැකියාව පැවතිණ.


ගංගාවේ පහළ ජල මට්ටමේ සිට රථ මාර්ගයේ මතුපිට (Road way) දක්වා පාලමේ උස අඩි 67ක් වන අතර ආරුක්කුව යටි පැත්තේ මතුපිට දක්වා උස අඩි 57 1/2ක් වේ. මේ නිසා අධික වර්ෂා කාලවල දී ගංගාවේ ජල මට්ටමට වඩා හොඳින් ඔාරාත්තු දී ඇත. 1834 දී ගඟේ ජල මට්ටම අඩි 60 දක්වා ඉහළ ගිය ද පාලමට කිසිදු හානියක් සිදු වී නොමැත. මාර්ග පථය දෙ පස දැවමුවා අත් වැටක් නිමවා ඇත. වත්මන මෙම පාලමේ දෘශ්‍යමාන සාදක කිසිවක් දක්නට නොමැති වුව ද එහි ආකෘතියක් ලන්ඩනයේ දකුණු කිංස්ටන් කෞතුකාගාරයේ ප‍්‍රදර්ශනයට තබා ඇත. පාලම ඉදිකිරීම් කටයුතු අවසානයෙන් පසු කොළඹ සිට මහනුවර දක්වා මෙම පාලම මතින් ගමන් කළ ප‍්‍රථම වාහනය වූයේ තැපැල් අශ්ව කෝච්චිය යි. මෙම කෝච්චි සේවය දකුණු ආසියාවේ ප‍්‍රථම තැපැල් අශ්ව කෝච්චිය වීම ද විශේෂ කරුණකි.
පේරාදෙණිය අලුත් පාලම
මහජනතාව වෙනුවෙන් පාලම විවෘත වූ දා පටන් ඒ හරහා ගමන් කරන මිනිසුන්ගෙන් සහ රථවාහනවලින් මධ්‍යම පළාත් රජයේ නියෝජිත විසින් බදු අයකර ගැනීම සිදුකර ඇත. ඒ අනුව 1866 දී උපයන ලද මුළු ආදායම රු. 64,250.00ක් විය. 1867 පළමු වරට කොළඹ – නුවර දුම්රිය මාර්ගය ඉදිකිරීමත් සමඟම ඉපැයූ බදු මුදල් ප‍්‍රමාණය ක‍්‍රමයෙන් පහත වැටුණි. එය වසරකට රු 1,900.00ක් දක්වා පහත වැටුණු බව වාර්තාවල සඳහන් වේ. 1866 සිට මහනුවර මහ නගර සභාව විසින් පාලමේ නඩත්ත කටයුතු බාරව සිට 1881 දී රජයට භාර දී ඇත. නගර සභා වාර්තාවලට අනුව 1887 දී පාලමේ අලුත්වැඩියා කටයුතුවල දී කොන්ත‍්‍රාත්කරුවන් ලෙස messrs middlton company කටයුතු කර ඇත. වසර 71ක කාලයක් භාවිතයේ පැවති බුරුත පාලම ක‍්‍රමයෙන් ගරාවැටෙන ස්වභාවයට පත් වූයෙන් වාහන ගමනාගමනය නතර කරන ලදී. එහෙත් 1904 ඔක්තොබර් 14 දක්වා මගීන්ට පමණක් ගමන් කිරීම සඳහා අවසර ලබා දී ඇත. තවදුරටත් පාලම මතින් ගමන් කිරීම අනාරක්‍ෂිත සහ අවධානම් සහිත වූයෙන් නව පාලමක් ඉදිකිරීමේ අවශ්‍යතාව සඳහා අවධානය යොමු කර ඇත. එහි දී පාලම ගලවා ඉවත් කිරීමට පෙර තාවකාලික පාලමක් ගන්නෝරුව තොටුපොළ අසළ දී ඉදිකර පසුව අබලන් වූ පාලම ගලවා එහි කොටස් ප‍්‍රසිද්ධ වෙන්දේසියේ විකුණා ඇත. 1906 නව පාලම වානේ මාධ්‍යයෙන් ඉදිකිරීම සිදුකර ඇත. එහි දී පැරණි පාලමේ යා බැමි දෙක උපයෝගිකර ගනිමින්, ගංගාවේ පළල කොටස් 3කට බෙදෙන පරිදි, ක‍්‍රමයෙන් ඉහළට සිහින් වන සේ කළුගල් සහ සිමෙන්ති කොන්කී‍්‍රට්වලින් කුළුණු දෙකක් (දෙපස යා බැමි දෙක අතර) ඉදිකර කර ඇත. එම කුළුණු ජල මට්ටමේ දී අඩි 38×10 වන අතර ඉහළ මට්ටමේ දී අඩි 28×6ක් වේ. මේවා ජල පිටාර මට්ටමේ දී පාෂාණ මුහුණත් සහිතව සිමෙන්ති කොන්ක‍්‍රීට්වලින් නිමවා ඇත. තව ද මෙම කුළුණු නිර්මාණයේ දී අඩි 35ක් පහළ ජල මට්ටමේ දී පිළිවෙලින් අඩි 11×4 සහ 13×3 අෂ්ටඝ‍්‍රාකාර හැඩැති ද්විත්ව ළිං දෙකක් මව් පාෂාණය දක්වා ගිල්වීම කර ඇත. ආරුක්කුව සඳහා භාවිත වානේ බාල්කවල බර උසුලා සිටීමට ඔරොත්තු දෙන පරිදි මෙම ළිංවල අත්තිවාරම මව් පාෂාණය දක්වා කැන ඇත.

මෙම නව පාලම, ත‍්‍රිත්ව ආරුක්කු සහිතව, පහළ ජල මට්ටමේ සිට උස අඩි 67 අඟල් 9ක් වන සේ යා බැමි හා කුළුණු ආධාරක මත සම්බන්ධ කර නිමවා ඇත. මාර්ග පථය දෙපස අලංකාර සිමෙන්ති කොන්ක‍්‍රීට් අත්වැටක් නිර්මාණය කර අති අතර රැළි කරන ලද වානේ බිම් ගල් සහ පාරට යොදන ගල් තාර (තාර හා ගල් කැට මිශ‍්‍ර කොට පාරවල යෙදීමට ගන්නා ආලේපය) මේ සඳහා භාවීත කර ඇත. මෙහි ඉදිකිරීම් කටයුතු අවසන් කර 1906 සැප්තැමිබර් 11 හෙන්රි බ්ලේක් ආණ්ඩුකාරවරයා ව්සින් ගමනාගමන කටයුතු සඳහා ව්වෘත කර ඇත.



ලිපියේ පූර්ණ අයිතිය නිලන්ති කේ. එදිරිසිංහ
පුරාවිද්‍යා පර්යේෂණ නිලධාරි, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, කොළඹ.

උපුටා ගැනිමකි.

ස්තුතියි
මුල් හිමිකරුට 

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS

අච්චු නොවන මිනිස් සත්තු

 



"මිනිහගෙ මිනිය ගේ තියාගෙනත් මේකිට තියෙන කුලප්පුව" මට එහෙම කියවුණා.
නොකියා කොහොමද?.කලින් දවසෙ මිනිහා ඇක්සිඩන්ට් වෙලා කියලා දැනගත්ත වෙලාවෙ ඉස්පිරිතාලෙ යන්න ලෑස්ති වෙවී හිටිය ගෑනි. ඒ මූනෙ තිබ්බ වේදනාවේ හැටියට මම නම් හිතුවේ මිනිහා මැරුණා කිව්වහම මේකි පොළොවෙ පස් කයි කියලා.
ඔය අපේ ගෑණිගෙ අක්කා.අරූ මැරුනා කියන පණිවිඩේ ඒකිට කියන්න බාර උනේ මට.මම සෑහෙන වටයක් ගහලා හෙමින් හෙමින් අදාල මාතෘකාවකට කිට්ටු වෙලා උගේ පණ ගියා කියලා මේකිට කිව්වේ බොහොම අමාරුවෙන්. මට කියාගන්න තිබ්බ අමාරුව වත් ඒකිට ඒක දැනගත්තහම දැනුනේ නෑ.
ඒකිගෙ මුනට ආව හිනාව ගැන කියන්න මට වචන නෑ කිව්වොත් කුණුහරප දාහක් කිව්වහැකි.
ඒ වෙලාවෙ ඉඳන් අරූගේ මිනිය වළලන වෙලාව වෙනකං වත් ඕකි ඇඬුවේ නෑ.කොහොමත් උන් දෙන්නා අන්තිම කාලෙ ජීවත් උනේ ඒ හැටි හිත හොඳකින් නෙමෙයි. මැරුන එකාට වෙන ගෑනියෙක් එක්ක සම්බන්ධයක් තියෙනවා කියලා සැකයක් අපි කාටත් තිබුණා. හැබැයි ඒක නිකම්ම නිකන් සැකයක් විතරයි. එහෙම සැකයක් වෙනුවෙන් මූ මැරුණ එක හොඳයි කියලා හිතන්න තරම් මේකි කොච්චර දුෂ්ට වෙන්න ඕනද?.
මිනිය ගෙනල්ලා සාලෙ මැද තිබ්බහමවත් මේකිට බොරුවට හරි සිහිනැති වෙයි කියලා මම බලාගෙන හිටියා.මොන පිස්සුද?.ඒකි ඒ දිහාත් හිනා වෙලාම බලාගෙන හිටියා.මළ ගෙදරට එන මිනිස්සු පිළිගත්තේ අත් දෙක එකතු කරල මඟුල් ගෙදරක වගේ හොඳ හිනාවකින්.මිනිය ගේ තිබ්බ දවස් දෙකෙත් මේකෙ හොඳට කෑවා, බිව්වා.මැරිලා තියෙන්නේ හරියට අපේ එකීගෙ මිනිහ වගේ අපේ එකී මස්සිනා මැරුනට ඇඬුවා.
නෑදෑයො යාළුවො විතරක් නෙවෙයි දන්න කියන කවුරුත් ඒකිගේ ඒ කැත හිනාව ගැන කතා වුණා. සමහර එවුන් හොරෙන් හොරෙන් ඒකී මිනිය ගාව හිනාවෙලා ඉන්න හැටි ෆොටෝ ගහ ගන්නවත් මම දැක්කා. ඇත්තම කිව්වොත් මම බයේ හිටියේ මිනිහ මැරුණට මේකිගේ තියෙන සතුට කියලා කවුරුහරි ඒ ෆොටෝ ටිකක් ෆේස්බුක් දායි වත්ද කියලා. වෙලාවට මේකිගේ මිනිහා මන්ත්‍රී කෙනෙක් ඇමති කෙනෙක් නළුවෙක් නොවුනේ..එහෙම වුණානම් අනිවාර්යෙන්ම මේවා ෆේස්බුක් වැටෙනවා.
හැබැයි ඇත්තම කිව්වොත් ඒකිගේ ඒ කැත හිනාවේ ෆොටෝ දෙක තුනක් කොහේ හරි දාලා මේකට විලිලැජ්ජා කරන්න මටම ත් හිතුනා.
ඇත්තක් කියන්නද මට ඔය ආපු තරහට තව හේතුවක් තියෙනවා. ඒ තමයි අපේ අම්මා කියන ගෑනි. අපේ තාත්තා නැති වෙනකොට මට වයස අවුරුදු දහයයි.තාත්තා මැරුණ ආරංචිය අම්මට ආවේ කොහොමද කියලා මම දන්නෙ නෑ.හැබැයි මට හොඳට මතකයි මිනිය ගෙදර තිබුණු දවස් තුනේම අපේ අම්මා කියන ගෑනිත් යසට කෑවා බිව්වා. මෙන්න මේකි වගේ තමා මූණෙන් ඇර ගියේ නෑ හිනාව.
අපේ අම්මට අර මිද්දෙනිය බාස් කාරයා එක්ක සම්බන්ධයක් තිබුණා කියලා පස්සෙ කාලෙක නැන්දලා කිව්වම තමයි මම දන්නෙ. අම්මට මිනිහ මැරිච්ච එක චූන් එකක් උනා. කොච්චරක්ද කිව්වොත් අපේ අම්මා කියන ගෑනි තාත්තගෙ හත් දවසේ දානෙ දා තාත්තගේ නමින් පැන් වඩන්නත් බෑම කිව්වා. මට අම්මව එපා උනා. ඊට පස්සේ තමයි මම ලොකු නැන්දා ලඟට ගියේ..
ඔය සිද්ධියෙන් පස්සේ අම්මලගෙ නෑයොයි තාත්තලගෙ නෑයොයි ඔක්කොම එයාව අතෑරියා. එක අතකට පුදුම මෝඩ ගෑණු මුන්.හිතේ සතුටක් තිබ්බත් බොරුවට අඬලා වැලපිලා හිටියනම් ඉවරයි.හිතේ තියෙන වරත්තු දුෂ්ට ගතිය ලෝකෙට පෙන්නන්නෙ නැතුව.
හැබැයි අපේ අම්මට නම් වැඩේ පල දුන්නා.දැන් කිරි අම්මලාගේ පරණ ගේ තනියම ඔහේ ඉන්නවා.මිද්දෙණිය බාස් කාරයත් ඒ කාලෙම ගමෙන් ගියාට පස්සේ ඌ ගැනත් ආරංචියක් නෑ මං හිතන්නේ.දැන් ඉතින් අපේ උන්දෑ තනියම අර පරණ ගෙට වෙලා ඔලුව හොල්ලො හොල්ල මුමුන මුමුන ඉන්නවා.මම බලාගෙන ඉඳලා තියෙනවා,එයා ඔහේ මොනවදෝ මුමුණනවා. වචන එළියට එන්නේ නෑ. හැබැයි මුනුමුනු ගගා ඇවිදිනවා. කරපු පව් මතක් වෙනව ඇති..පාරක යනවා දැක්කත් ගිහිල්ලා කතා කරන්නවත් මට හිතෙන්නෙ නෑ. මිනිහගේ මිනිය ඉස්සරහා චූන් එකේ හිටපු ගෑනි නේද මේ කියලා මට මතක් වෙනවා.
අපේ අම්මා කියන ගෑනි වගේම තමා අපේ ගෑනිගේ අක්කත් එකම අච්චුවද කොහෙද..
එදා ඔය අපේ මස්සිනාගේ මිනිය වළලලා ගෙදරට ආව ගමන් මං අපේ එකීට කිව්වා "යමං ගෙදර තව තප්පරයක්වත් ඉන්න ඕන නෑ" කියලා.
"පිස්සුද අනේ අක්කව මේ තත්වෙන් දාලා යන්නේ කොහොමද?"
"මේ තත්ත්වෙන් කියන්නේ මොකක්ද.. ඒකි ඉන්නේ පට්ට චූන් එකේනේ බලු#%"
අපේ ගෑණි මං දිහා පුදුම වෙලා වගේ මං දිහා බලාගෙන හිටියා.
"මොකද්ද චූන් එක?"
අපේ ගෑණි ටීචර් කෙනෙක්.එයාගේ ඉස්කෝලේ ටීචලා කීප දෙනෙක් එයාලගේ අක්කත් එක්ක කතා කර කර ඉන්න දිහා බලලා ආපහු මගේ දිහා බලපු අපේ ගෑනි "අපේ අක්කා අර ඉන්නේ චූන් එකේ කියලද ඔයා හිතාගෙන ඉන්නේ..ඇත්තටම ඔයා මොන ලෝකෙද ඉන්නේ?" කියලා මගෙන් ඇහුවා.
මට දිරවන්නෙම නැත්තේ අපේ එකී ඔන්න ඔය ක්‍රමයට ප්‍රශ්න අහන එක.ඒකී ගෙදරත් ටීචර් වෙන්න හදන එක.
"තමුසේ එනවනම් එනවා.මම යනවා යන්න ආයෙ මම තමුසෙලාගේ අක්කගේ මිනියටවත් එන්නේ නෑ කිව්වා කියලා මතක තියාගන්නවා"
"ඇයි අපේ අක්කා ඔයාට මොනවා කළාටද?"
"අපේ අම්ම කියන ගෑනිත් ඔන්න ඔය වගේ මිනිහ මැරුනහම එයාට පුදුම චූන් එකක් තිබ්බේ තිබ්බේ. ඒක තමයි මම සදහටම අතහැරලා දැම්මේ" මට කියවුණා.
අපේ ගෑනි අත්දෙක බැඳගෙන කල්පනා කළා.මම ඒකිට ඕන මගුලක් කරගන්න කියලා ඇවිත් ත්‍රීවිල් එකට නැග්ගා. මොනවා උනත් මම දන්නවා ඕකී මගේ වචනෙට එහායින් යන්නේ නෑ කියලා. ඒකිත් ඇවිත් ත්‍රිවිල් එකට නැග්ගා.
ටික දුරක් එනකම් අපි කතා කළේ නැ.
"ඇත්තටම ඔයාලගේ අක්කට මොකද බැරි බොරුවට හරි කෑගහලා ටිකක් අඬන්න.හතරවිලි ලැජ්ජාවේ බෑ. මුළු ගමම කතාවෙන්නේ ඔයාලගෙ අක්කගේ ඔය බලු හිනාව ගැන"
"හැම මනුස්සයාම එක වගේ කියලා හිතන එකේ වැරැද්ද..හැම මනුස්සයම හැමදේටම ප්‍රතිචාර දක්වන්නේ එකම විදිහට නෙමෙයි"
ඒ කතාවට මට ටිකක් තරහ ගියා.අනිත් එක කතා කරන්න මගේ හිතේ තිබුණු උද්යෝගය අඩුවෙලා ගියා. ඒක නිසා මම ආයේ කතා කරේ නෑ. අපි දෙන්නම ගෙදරට ඇවිල්ලා බැස්සට පස්සේ එකි මෙහෙම කිව්වා.
"දමිත්..අපේ අක්කාව හිනා වෙලා ඉන්නේ සතුටින් නෙමෙයි. එයාට වෙච්ච දේ කම්පනයට එයා ප්‍රතිචාර දක්වන විදිහ ඕක.මේ වෙලාවේ එයා ඉන්නේ අයියා මැරුනා කියන එක පිලිගන්නෙවත් නැතුව. අපිට තියෙන්නේ මනුස්ස හිත්නේ. මේවා එක එක වෙලාවල් වල ලෙඩ වෙනවා .එක එක මායාවල්වලට අහුවෙනවා. ඇත්තටම කෑ ගහලා අඬන ගෑනියකුට වඩා නරක තත්ත්වයක අපේ අක්කා ඉන්නේ.හරියට කිව්වොත් මේ වෙලාවේ එයාට පිස්සු.එයා කවද හරි අඬන්න පටන් ගන්නේ අයියා මැරුනා කියලා එයාගේ හිත පිළිගත්ත දවසට. ඒ වෙනකන් එයාව පරිස්සමට බලාගන්න ඕන.ඒකෙන් පස්සෙත් එයාව බලාගන්න වෙනවා. ඔයාලගේ අම්මත් එදා හැසිරුනේ අපේ අක්කා වගේම නම් ඔයාලගේ අම්මට වෙලා තියෙන්නේ ලොකු ඛේදවාචකයක්. ඔයාලගේ පවුලක කිසි කෙනෙක් දැනගෙන ඉඳලා නෑ. මීට පස්සේ එයාව බලාගන්නේ කොහොමද කියලා. එදා ඒ ඇති වෙච්ච කම්පනය තමයි දුරදිග ගිහින් දැන් ඔය පිස්සු ගෑනියෙක් වෙලා නැවතිලා තියෙන්නේ. මම කිව්වට ඔයාට පිලිගන්න බෑනේ. ඔයාගේ අර සියල්ල දත් යාළුවා ඉන්නේ අසංක .අන්න එයත් එක්කවත් මේක ගැන ටිකක් කතා කරල බලන්නකෝ ඔයාට මොනවා හරි දෙයක් තේරුම් ගන්න පුළුවන් වෙයි. මේ වෙලාවේ ප්‍රශ්න ඇති කරගන්න හදන්න එපා දමිත් මම අක්කලාගේ ගෙදර යනවා. මම මේ දැන් ආවෙත් මට ඇඳුම් දෙක තුනක් අරගෙන යන්න ඕන නිසා"
මම ඉස්තෝප්පුවේ පුටුවට වෙලා ඉඳගෙන හිටියා. එයා ගේ ඇතුලේ ඇඳුම් හොයාගන්න ගමනුත් තව මොනවා මොනවද කිව්වා.
"අපේ කෙල්ල ගැන පොඩ්ඩක් හිතන්නකෝ අපේ කෙල්ලට අපි බැන්නම චුට්ටත් තරවටු කරහම ඒකිට මොනවට හරි දුක හිතුනහම ඒකි කරන්නේ මොකද්ද..ගෙදර තියෙන දේවල් හොය හොය කන ඒක..ඒ එයා හිතට එන පීඩනයට ප්‍රතිචාර දක්වන හැටි.හැමදාම හැමතැනම අපි අහලා තියෙන්නේ දුක හිතුණාම මිනිස්සුන්ට කන්න බොන්න බැරුව යනවා කියලානේ. ඒ වුණාට අපේ කෙල්ල එහෙම නෙමෙයිනෙ ඒකිට දුක හිතුනම තමා ඒකි වැඩියෙන් කන්නෙ..ඒකට කියන්නෙ ස්ට්‍රෙස් ඊටින් කියලා..තව ...මගේ පන්තියේ ළමයෙක් ඉන්නවා තිළිණි කියලා. ඒ ළමයගේ අම්මා මැරුණු වෙලාවේ මම මළ ගෙදර ගියා. ඔයත් ගියේ ඔයාට මතක ඇති. ඒ ළමයා පැයක් විතර ඉකි ගහ ඇඬුවා. ඒ උනාට එක කඳුළු බිංදුවක්වත් ආවේ නෑ. හැබැයි ඒ ළමයා ඉකි ගහනවා.. ඒ ළමයගේ මුළු ඇගෙන්ම ඒ ළමයා අඬනවා. ඒ වුණාට කඳුළු එන්නේ නෑ. ආවේ නෑ කියන්නේ ඒ ළමයා ඇඬුවේ නෑ කියන එකද..ඒ ළමයා පස්සෙ දවසක මාත් එක්ක කිව්වා එයා අඬන වෙලාවට ඔය එකිනෙක එයාට සිද්ධ වෙනවා ඒත් කඳුළු එන්නෙ නෑ කියලා. ඒක වෙන්නේ කොහොමද කියන්න මම දන්නේ නෑ ඒ එක එක්කෙනාගේ විදිහ. මේ වෙලාවේ මම අපේ අක්කව බලා ගත්තේ නැත්නම් එයාට වෙන්නෙත් ඔයාගේ අම්මට වෙලා තියෙන එක නිසා මම මේ වෙලාවේ අක්කාව අතාරින්නේ නෑ ඔයාට මේක තේරුම් ගන්න පුළුවන් නම් හවසට එන්න"
අපේ එකී ගේ මම අකමැතිම ඔය විදිහට කතා කරන එකට උනාට මම කැමතිමත් ඒකි ඔය හැමදේම දන්න ගතියට..ඒකි කිව්ව හැමදේම මට තේරුනේ නැතත් ඒකි කිව්ව දේවල්වල මොනවා හරි ඇත්තක් ඇති කියලත් මට හිතුණා.හැබැයි සම්පූර්ණයෙන්ම නෙමෙයි. අනිත් එක මේක තමයි ගෑනි මට උඩින් ගියපු පළවෙනි වතාව ඒක හින්දා මම හැන්දෑවේ තීරණය කළා උන්ගේ අක්කලාගේ ගෙදර යන්න.
ඊට පස්සේ අපි සතියක්ම හිටියේ අක්කලාගේ ගෙදර. අපේ එකී සතියක් නිවාඩු දාලා තිබ්බ හින්දයි මගේ කඩේ වැඩ ටික බලා ගන්න කොල්ලෙක් හිටිය හින්දයි එච්චර ප්‍රශ්නයක් වුණේ නෑ.
හිනා වෙන ගෑනි තවත් දවස් දෙකක් විතර ඒ විදිහටම හිනා වෙලා තමයි හිටියේ.ඒකිට හෙනයක්වත් ගහලා තියෙනවා කියලා මට නම් හිතුනෙ නෑ. හැබැයි හතරවෙනි දවසේ රෑ අපේ ගෑණි මට අඬගහලා අක්කාව පෙන්නුවා.එතකොට රෑ දෙකට විතර ඇති. අක්කා ඇඳ විට්ටමට හේත්තු වෙලා ඉන්නවා.හිනාවෙලාම .මිනිහ මැරිල තියා කිසිම දෙයක් වෙලා නැති ගෑනියෙක් වගේ හරි සැහැල්ලුවෙන් හිනා වෙලා ඉන්න බව තමයි පේන්න තිබුණේ.
"අදට හතරවෙනි දවස මෙයාට පොඩ්ඩක්වත් නින්ද යන්නෙ නෑ. ඔය විදියටම ඉන්නවා. හෙට නම් ඩොක්ටර් කෙනෙක්ට පෙන්නන්න වෙනවා.හිතේ මොන මොනවා වැඩ කරනවද කියලා දෙයියෝ තමයි දන්නෙ.ඒ මදිවට මොහොතක්වත් නින්ද නොයන එක හරි බරපතලයි" අන්න ඒ වෙලාවේ නම් මටත් හිතුනා මේ ගෑනිට මොකක් හරි අවුලක් වෙලා කියලා.
ඊට පහුවෙනිදා අපේ ගෑණි ඉස්කෝලෙ තව ටීචර් කෙනෙකුයි දෙන්නෙක් එකතු වෙලා මෙයාව ඩොක්ටර් කෙනෙක් ළඟට අරගෙන ගියා. දොස්තර මොකක් හරි ඉන්ජෙක්ෂන් එකකුත් දීල සේලයින් එකකුත් දුන්නා. අපේ එකී ගේ මූණේ එහෙම බරපතල පෙනුමක් තිබ්බේ.
"සේලයින් නම් ඉතිං ඉස්පිරිතාලේ අරන් යන බල්ලටත් දෙනවනේ" කියලා මම කිව්වා.
"අපි අක්කව එක්ක ආවේ සේලයින් දෙන්න නෙමෙයි"අපේ ගෑණි මට එහෙම කියලා තරහෙන් වගේ යන්න ගියා. කොහොම හරි හිනාවෙවී හිටපු ගෑනිට නින්ද ගියා. තව එකියෙක් ඒකි ගාව නවත්තලා අපි ගෙදර ආවා. එදා හවස අපි යනකොට වත් අක්කා නැගිටලා හිටියේ නෑ.
හතට විතර නැගිටලා, නැගිටපු ගමන් හොඳට කාලා ආපහු නින්ද ගියා කියලා ලඟ හිටපු කෙල්ල රෑ වෙලා කෝල් කරලා කිව්වා. පහුවදා ගෙදර එක්ක ආවම නම් ගෑනි හිනා වෙවී හිටියේ නෑ. දීලා තිබුණු බෙහෙත් වලට වෙන්න ඇති සැරින් සැරේ නැගිටලා ආයේ ගිහින් නිදා ගත්තා.
ඊළඟට හත් දවසේ බණ. බණ කියපු තැන නම් ගෑනි ඉඳගෙන හිටියේ හිනා වෙවී නෙමෙයි. නිකං සෝමාරි විදිහට වාඩිවෙලා හිටියා.ගෑනි ඒ පාර බොරුවට දුක පෙන්නන්න හදනවා කියලා මිනිස්සු කතා වුණා.
පහුවෙනිදා උදේ පන්සලටම අරන් ගිහිල්ලා හාමුදුරුවරු හත් නමකට හීල් දානෙ දෙන්න තමයි තීරණය වෙලා තිබුණේ. මේ ගෑනි නැගිටලා එළියට ආවේ දානේ හදලා ඉවර වෙන වෙලාවට.අපේ ගෑණි අක්කවත් ලෑස්ති කරගෙන ඇවිල්ලා පන්සලට යන්න කියලා ඉඳගත්තේ මගේ ත්‍රීවිල් එකේ.ඇත්ත කියන්න එපැයි ගෑනිට මොකක් හරි අවුලක් කියලා තේරිලා තිබුනට ඇත්තම කිව්වොත් මට ඒ ගෑනි ගැන කිසි අනුකම්පාවක් තිබුණේ නෑ. මළ ගෙදර දවස් දෙකේ තිබුණු තරහා පොඩ්ඩක්වත් අඩු නැතිව තිබුණා.
එදා දානෙ සාංඝික කරන වෙලාවෙත් සද්ද නැතුව හිටපු මේ ගෑනි දානෙ බෙදන්න පටන් ගන්නකොට ඩිස් මිස් වෙලා. එයා එතන නෑ කියලා දැන ගත්ත පළවෙනි මොහොතෙම අපේ ගෑණි මට කිව්වා එළියට ගිහින් පොඩ්ඩක් බලන්න කියලා.පන්සලේ කොහෙවත් හිටියේ නෑ.ටික වෙලාවකින් අනිත් අයට දානෙ වැඩ ටික කරගන්න ඇරලා අපේ ගෑනියි එයාගේ යාළු ටීචර් කෙනෙකුයි එළියට ආවා.අපරාදේ කියන්න බෑ අපේ එකීට ඉන්නෙත් ඒකි වගේම ඔලුවක් තියෙන යාලුවෝ ටිකක්.
"යන්න ඉඩ තියෙන තැන් දෙකයි එකක් ගෙදරට යන්න පුළුවන් එකක් කනත්තට යන්න පුළුවන්"අපේ එකීගේ යාළුවා කිව්වා.
ගමක් කියන්නේ ඕන වෙලාවක ඕන දේකට සපෝට් එකට ඕන තරම් මිනිස්සු ඉන්න තැනක්.
උන විදිය වැඩක් නෑනෙ අවසානෙට වුන දේ කියන්නම්කෝ. අපි ගෙදර යනකොට අක්කා ගෙදර ගිහිල්ලා.අක්කා ගෙදර දොර පඩියෙ ඉඳගෙන අත් දෙක පිටිපස්සට කරලා දොර පඩියට තියාගෙන හති අරිනවා. හති අරින ගමන් එයා මුමුණනවා.
"පින් පිණිස. පින් පිණිස ..පින් පිණිස ..නෑ නෑ ..පින් පිණිස ..වෙන්නේ නෑ ..නෑ. එතකොට ආයේ නැද්ද ...ආයෙ නැද්ද.. ඉවරයිද ...ඉවරයිද ඔයා ඉවරයිද ...ඔයා ඉවරයිද"
අපේ ගෑනි හිමිට ළඟින් ඉඳගත්තා.
"අක්කුං"
අකුං කියන්නේ උන්ගේ පවුලේ එවුන් අක්කට ආදරේට කියන නම. පොඩි කාලේ පුරුදු වෙච්ච එක කියනවනේ.අක්කුං අක්කා අපේ ෙකී දිහා සෑහෙන වෙලාවක් බලාගෙන හිටියා ඊට පස්සේ එක පාරටම කෑගහලා අඬන්න පටන් ගත්තා.මදෑ ඒ ඇඬිල්ල. තව පාරක් මළගෙයක් වුණා වගෙ අසල්වාසියො පිරුණා.
දැන් මාස දෙකක් විතර වෙනවා අක්කට තාම බෙහෙත් දෙනවා.බෙහෙත් නැති උනහම එයා තාමත් අවුල් වෙනවා.හැබැයි එයා පුරුදු විදියට වැඩට යනවා.මිනිහ මැරිච්ච වෙලාවේ කටපුරා හිනාවෙලා හිටපු ගෑනි දැන් ලේසියට හිනාවෙන්නෑ.
හැන්දෑවට අපි ගියාම අයියයි එයයි යාළු උන හැටි බැන්ද හැටි ගැන එකම විස්තර එයා ආයෙ ආයෙ කියනවා. දැන් අපිට ඒ විස්තර කටපාඩම්.හැබැයි අපි ඒවා අහගෙන ඉන්න එක එයාගේ මනසට හොඳයි කියලා අපේ එකී කියන හින්දා අපිත් අහගෙන ඉන්නවා.
දැන් මට හරියට අපේ අම්මව මතක් වෙනවා. මම දවසක් අපේ ගෑනිට ඒක කිව්වා.ඒකිකිව්වා මම බලාගෙන හිටියේ කවද හරි ඔයා ඕක මාත් එක්ක කතා කරනකම් " කියලා.
"කිසි කෙනෙක් අපේ අම්මා ගැන බැලුවේ නෑ" මම චෝදනාවක ස්වරූපයෙන් කිව්වා.
"ඒක කාගෙවත් වැරැද්දක් නෙවෙයි අනේ.. දැනුමක් තියෙන කවුරුවත් ඉඳලා නෑ "
"ඒ කාලේ ඔයා මාත් එක්ක හිටියනං අපෙ අම්ම ගැනත් තේරුම් ගනී නේද?"
"ඒ කාලේ ඒ කාලේ ඉතින් ඔයාට අවුරුදු දහයයි නේ..අනිත් එක උන දේවල් හොඳ උනත් නරක උනත් අපිට වෙනස් කරන්න බෑනේ. අපි ඉතින් හොඳ කෑල්ල ගමු. ඔයා ලොකු නැන්දා ළඟට ආවේ නැත්නම් ඔයාව මට හම්බවෙන්නේ නෑ. අම්මත් එක්ක ඔයාට අවුලක් ඇති වුණේ නැත්නම් ඔයා ලොක ලොකු නැන්ද ළඟට එන්නේ නෑ..දැන් ඉතින් කරන්න පුළුවන් දෙයක් බලමු.ඔයාට අම්මව බලන්න යන්න හිතෙනවා නම් ගිහින් එමු"
"ඇත්තටම මට එයාව බලන්න යන්න මොකද්ද වගේ? ගිහිල්ලා නිකං කතා කරන්නේ කොහොමද කියලා හිතෙනවා"
"නිකන් ගියාට වැඩක් නෑ ඇත්තටම ..හරි නම් ඔයා ඔයාගේ වචන වලින් අම්මට කියන්න ඕනේ. එදා අම්මව තේරුම් ගත්තේ නැති එක ඔයාගේ නොදැනුවත්කමට වෙච්ච දෙයක් කියලා..ඒ ගැන දැන් දුක් වෙනවා කියලා.. ඒකට සමාවෙන්න කියලා කියන්න ඕනේ..ඒකෙන් එයා කොච්චර සතුටු වෙයිද..ඔයාගේ හිතත් නිවෙයි"
මම දවස් ගානක් තිස්සේ පුරුදු උනා අම්ම ඉස්සරහ ඔය ටික කියන හැටි. අම්මෙ කියලා කියද්දි තියෙන්න ඕන මොන වගේ ටෝන් එකක්ද... මම පාවිච්චි කරන්න ඕන මොන වගේ වචනද කියලා. හුඟාක් වතාවක් මම හිතුවා.තනියම හිතින් කියලත් බැලුවා.
එක ඉරිදා දවසක මායි අපේ ගෑනියි අපේ ගෙදර යන්න ලෑස්ති උනත් අවසාන මොහොතේ මං එයාට. කිව්වා එන්න එපා කියලා. මට එයාලා ඉස්සරහා අම්මට අර ටික කියන්න ලැජ්ජයි මට ඇත්තටම අම්මත් එක්ක කතා කරන්න ලැජ්ජයි. මට පුළුවන් තනියම ඉන්නකොට කොහොම හරි මම තනියම ගියා.
මම ත්‍රීවිල් එක මිදුලට දානකොට අම්මා හිටියේ මිදුල අතුගාන ගමන්.එයා හුඟක් වයසට ගිහිල්ලා.දැන් ඉස්සරටත් වඩා ඔලුව හෙල්ලෙනවා කියලා මට හිතුනා.අම්මා හරියට මාව අඳුරන්නේ නෑ වගේ මගේ දිහා බලාගෙන හිටියා.
"අම්මා..මං කිරිපුතා"
අම්ම ටිකක් වෙලා මන් දිහා බලාගෙන ඉඳලා ඉදල බිත්තියට හේතු කරලා කුස්සිය පැත්තෙන් ගෙට ගියා මම ගෙට ගිහිල්ලා සාලෙන් ඉඳගත්තා. කුස්සියේ සද්ද බද්ද ටිකක් ඇහුනා. කේතලේ මූඩිය බිම වැටෙන සද්දෙ ඇහිලා ටික වෙලාවකට පස්සේ අම්මා සාලෙට ආවා.
"මං ඒත් කිව්වා අදහෙට එයි කියලා" මට එහෙම කියලා එයා සාලෙ හැමතැනම කාව හරි හෙව්වා.
"කෝ තාත්තා ?"
ඊට පස්සේ අම්මා කාමරයක දොර රෙද්දක් ඇරලා
කාමරයේ ඉන්න කාට හරි කතා කළා.
"ඒයි...කිරි පුතා ඇවිල්ලා මං කිව්වෙ ඇහුන්නැද්ද?"
අම්මා කාටද ඒයි කියලා කියන්නේ කියලා මට එකපාරටම තේරුනේ නෑ.
"තේ වක් කරගෙන එන්නම් කතා කර කර ඉන්ඩ" අම්මා එහෙම කියලා කුස්සියට ගියා. මම, අම්මා දොර රෙද්ද ඈත් කරලා ඇතුළෙ ඉන්න කෙනාට කතා කරපු කාමරේ බලන්න තීරණය කළේ ටික වෙලාවකට පස්සේ. ඒ කාමරේ කිසි කෙනෙක් හිටියේ නෑ.
මට මතක් වුණා අම්මා තාත්තට කතා කළේත් තාත්තා අම්මට කතා කරෙත් ඒයි කියලා. ඊට පස්සේ අම්මා තේ හදාගෙන ආවා.තේ කෝප්ප දෙකක්.
"දැං අපි වයසයි.මේ ගේ ලියලා ඉවරක් කරන්න ආව එක හොඳයි"
අම්මා එහෙම කියලා මට එහා පැත්තේ පුටුවෙන් ඉඳගෙන ටිකක් කල්පනා කළා. ඊට පස්සේ තේ එක තිබුණු පරණ බන්දේසිය දිහා බලාගෙන හිටියා. බන්දේසිය අතට අරන් තේ එක හදන් එන්නම් කියලා ආයෙ ගියා.
මට තේ එක ගිලුනෙ නෑ. මට එකපාරක් මට තේ ගෙනත් දුන්න බව මතක නෑ. මං අම්මා ආපහු එනකම් බලාගෙන හිටියා. ඒ අතරේ මට අම්මට කියන්න තියෙන දේ කියන හැටි හිතින් ප්‍රැක්ටිස් කලා.එයා තව තේ එකක් හදාගෙන ආවා.මම අතේ තිබ්බ තේ එක උගුරු තුනට බිව්වා.ඊට පස්සේ අම්මගෙන් ගෙනල්ල දුන්න අනිත් තේ එක අතට ගත්තා. තේ එකේ රස්නෙ මගේ නහයට තොල් වලට දැනෙන තරම් තේ එක ළඟින් තියාගෙන අම්මා දිහා බලන්නේ නැතුවම කියාගෙන ගියා.
"තාත්තා නැති උන වෙලාවෙ අම්මා හිනා වෙලා හිටිය එක අම්මගේ නපුරුකමට කරපු වැඩක් නෙවෙයි නෙවෙයි. ඒක ඒ වෙලාවේ අම්මා ඒ ප්‍රශ්නේ දරා ගත්ත විදිය කියලා දැම්මට තේරෙනවා තේරෙනවා. එදා අම්මගෙන වැරදියට හිතුවට සමාවෙන්න කියලා කියන්න මං ආවේ"
මං ඒක කියල ඉවර වෙලා ඔලුව උස්සලා අම්මගේ මූණ දිහා බලනකොට අම්මා අර කාමරේ දොර රෙද්ද දිහා බලාගෙන ඉන්නවා.
"අපේ මෙයාටත් දැන් මට වගේ තමා. අතපයේ කැක්කුම් ඉතින් දන්නේ නැද්ද" ඒ වෙලාවේ මම කවුද කියලා අම්මට මතක නෑ කියලා මට තේරුණා.
මම තව ටික වෙලාවක් ගෙදර හිටියා මට තේරුණා අම්මට වෙලාවකට කල්පනාව තියෙනවා වෙලාවකට නෑ කියලා.එයාගේ ඔලුව මේ තරම් නරක් වෙන්න ඉස්සර සමාව ගන්න එන්න අවස්ථාවක් හම්බුනා නම් කොච්චර හොඳද..දෛවය එහෙම අවස්ථාවක් මට දුන්නේ නෑ.
කොහොම හරි දැන් මං දන්නවා හැම මනුස්සයෙක්ම හැමදේටම ප්‍රතිචාර දක්වන්නේ එකම විදියට නෙමෙයි. එයා දක්වන ප්‍රතිචාරය අනුව එයාට කිසිම දුකක් නෑ නැත්නම් එයාට කිසිම සතුටක් නෑ කියලා තීරණය කරන්න අපිට බෑ මොකද ප්‍රතිචාර දැක්වීම සම්පූර්ණයෙන්ම ඒ ඒ පුද්ගලයාට අනන්‍යයි.
චුට්ටක් කේන්ති ගියාම බත් පිඟන් දෙක තුනක් කන අපේ පොඩි එකීගෙයි හයියෙන් කතා කළත් "මට බැන්නා" කියලා ඉඳගෙන හොටු පෙර පෙර කඳුළු පෙර පෙර අඬන ලොකු කෙල්ලගෙයි දෙන්නගෙම හිතේ තියෙන දුක සමානයි කියලා දැන් මට තේරෙනවා.
දුක කියන්නේ කඳුළම නෙමෙයි
සතුට කියන්නේ හිනාවම නෙමෙයි.
කොටින්ම මේ ලෝකේ සිද්ධිවලට, කාරණාවලට, දේවල් වලට එකිනෙකා දක්වන ප්‍රතිචාර ඒ ඒ කෙනාට අනන්‍යයි..
මේ වෙලාවේ ප්‍රතිචාර දක්වන්න මේ ඕන මේ විදිහටයි.මේ වෙලාවට හැසිරෙන්න ඕන මේ විදිහටයි කියලා පොදුවේ කාටවත් කියන්න වත් අපිට දැනෙන විදිහටමයි අනිත් අයටත් දැනෙන්න ඕන කියල හිතන්නවත් අපිට අයිතියක් නෑ.
"මිනිස්සු කියන්නේ එක අච්චුවක දාලා හදලා එළියට දාපු රොබෝලා නෙවෙයිනෙ.එක එක්කෙනා එක එක විදියයි.එක එක විදියේ එයාලත් එක්ක එකට ජීවත් වෙන්න මිසක් එක එක විදියේ එයාලව අපේ අච්චුවට දාගන්න නෙමෙයි අපි මේ ලෝකෙට ඇවිල්ලා තියෙන්නේ" අපේ එකීගේ යාළු ටීචර් කෙනෙක් දවසක් කියනවා මං අහගෙන.
"හොඳටෝම කරදරේක ඉන්න මනුස්සයෙක් ඒ වෙලාවට හැසිරෙන විදිහයි විදිහයි ඒ වෙලාවේ එයාගේ ප්‍රතිචාරයි ගැන අප්පිරියාවක් කහටක් ඇති කරගන්න නරකයි" ඒකිගේ තවත් යාළු ටීචර් කෙනෙක් කියනවා මං අහගෙන.
අපේ එකී වගේම ඒකිගෙ ඔය යාලුවො ටිකත් රත්තරන්.
ඇත්තටම දැන් ඉස්සරට වඩා මිනිස්සු හරි ලස්සනයි කියලා මට හිතෙන වෙලාවල් තියෙනවා
අපේ අම්මලාගේ කාලෙට වඩා අපේ කාලේ ඉන්න මිනිස්සු හොඳයි කියලත් දැනුම තියෙන මිනිස්සු කියලත් මට හිතෙනවා.
දැනුම කියල කියන දේ මිනිස්සුන්ව වඩා මානුෂීයව හිතන්න පුරුදු කරනවා.හරියට අපේ ගෑණි වගේ. ඒකිගේ හොඳම යාළුවො වගේ.
අපේ අම්මගෙ සීමාවේ කිසිම තැනක අපේ ගෑණි වගේ මානුෂීය විදිහට හිතන්න පුළුවන් දැනුමක් තියෙන කෙනෙක් හිටියේ නැති නිසා අපේ අම්මා සමාජයෙ දෝෂ දර්ශනයට ලක්වෙලා තනිවෙලා පිස්සියෙක් වුණාට අපේ ගෑණිගේ අක්කට එහෙම වුණේ නෑ.
තාමත් එක එකාගේ ෆෝන් වල න. ඒකි මිනිහගෙ මිනිය ගේ තියෙද්දිත් හිනාවෙවී හිටිය හැටි තියෙනවා. උන් දන්නවා ඒකි මිනිහගේ මිනිය ඉස්සරහිනා වෙවී හිටියා ගෑනි බව.ඒක ඉතින් බොරුවකුත් නොවන නිසා උන් ඒක ගැන කතා වෙන එක වැරදියි කියලා අපි කියන්නේ නෑ.හැබැයි උන් දන්නේ නැති දෙයක් තියෙනවා. අක්කා තාමත් මනෝ වෛද්‍යවරයෙක් යටතේ ප්‍රතිකාර ගන්නවා ඒ කියන්නේ බෙහෙත් බොනවා.ඒවගේම එයා තාමත් මැරුණු මිනිහගේ පිඟානට බත් එක බෙදලා තමයි කන්නෙ.ඊළඟ වේලට ඒ බත් එක කුරුලු ලෑල්ලට දාලා ඇවිල්ලා හොඳට පිඟාන හෝදලා ආයෙත් බත් එකක් බෙදනවා.
මිනිස්සු කියන්නේ එකම අච්චුවක දාලා නිර්මාණය කරලා එළියට දාපු රෝබෝලා නෙමෙයි.ඉතින් එයාලා එක එක දේවල් වලට ප්‍රතිචාර දක්වන්නේ එක එක විදිහට.
======
සුජාතා මැණිකේ ඉහළගෙදර

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS

ලස්සන වෙසක් මල් පිබිදෙන වෙසක් මහේ

 





ලස්සන වෙසක් මල් පිබිදෙන වෙසක් මහේ .
තනිවී හඩන කොවුලකු හඩ දුරින් ඇහේ
රූබර වෙසක් සද අද නෑ ගියෙද කොහේ
අමණාපව සමග අප සැගවුනිද එහේ
දෙදහස් වසක් පෙර සිට මේ පින් බිමට
පෑයූ වෙසක් සද අද මෙහි නාවාට
බැහැ කිසි දොසක් පවසනු හිතකින් ඈට
මිනිසයි රිදුම් දුන්නේ ඇගෙ හදවතට 
සදදිය ගලපු හෝපලු වනපොත් නැසුවා
සදදිය අතුල ගං හෝ ඇල දොල සිදුවා
සදදිය නෑව හා,මුව,ඇත්,රැල මැරුවා
ඇය බෝ කලක් මේ දුක ඉවසන් සිටියා 
බුදුහිමි දෙසූ අම දම් හිද මිගදායේ
අහසින් බිමට බැහැලයි ඈ බණ ඇහුවේ
හටගත් හැම දෙයම යම් දිනයක නැතිවේ
එයදත් ඇයත් ඒ අනුවයි දිවි ගෙව්වේ 
වටහා නොගත් මිනිසා ඒ නියත දම
කෙලෙසා දැමුව පාගා ඇගෙ තුරුණු ලැම
සදදිය නොවේ ඉන්පසු ඇය හෙලුවෙ බිම
කදුළුයි ඇගේ දෙනෙතින් ගැලු ,නොවුනු නිම

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS

පිදුරු හතු හදමු.

 

වියලි පිදුරු ' ගිනිමානා ' අලි මානා ' ඉලුක් ' කෙසෙල් පරඩැල් ' වලින් පහසු දෙයක් ගෙන අමුද්‍රව්‍ය කිලෝ පහකට හුණු අළු ග්රෑම් දහයක් යොදා පැය දෙකක් පමණ හොදින් තම්බාගෙන 60% පමණ තෙතමනය රැදෙන පරිදි වේලාගන්න (කොටසක් ගෙන ඉහලට ඔසවපුවාම දිය බේරෙන් නැති ගානට ) ඉන්පසු වියලි සිසිල් ඉර ඵළිය නොවැටෙන අදුරු සහිත තැනක මැස්සක් හෝ සිදුරු සහිත භාජනයක් කූඩයක් වැනි දෙයක අගල් දෙකක් උස තට්ටුවක් අතුරන්න .
ඵයට මුං පිටි ' රයිස් පොළිස් ' කඩල පිටි ' උදුපිටි ' හෝ සමපෝෂ කුඩු ස්වල්පයක් ඉසින්න .ඒ මතට පිදුරු හතු හෝ වෙනත් බිම්මල් බීජ ස්වල්පයක් විසුරුවා හරින්න . (ඇමරිකන් වොයිස්ටර් ' ඇබලෝනි ' වැනි) 
නැවත පිදුරු අගල් 02ක් අතුරන්න .
නැවතත් ඉහත පිටිවලින් ඵකක් විසුරවා හැර බීජ ස්වල්පයක් ඒ මත දමා අගල් දෙකක නැවත පිදුරු තට්ටුවක් යොදන්න . 
 නම් අගල් 10_12 තට්ටුවක් කූඩයක නම් කූඩයෙ කට මට්ටමට මේ විදියට අතුරන්න . උඩම කොටසටත් ඉහත පිටි හා බීජ විසුරුවා කළු ඉටි රෙද්දකින් සම්පූර්ණයෙන්ම වසා දින 14 තබා විවෘත කර දිනකට තුන්වරක් වතුර ස්ප්රේ කරන්න.
තෙතමනය රදා පවත්වාගැනීමට . 
හතු යනු දිලීරයක් බව මතක තබාගන්න . 
කෘමි හානිවලින් රැකගැනීමට මදුරු දැලකින් වගා කොටස ආවරණය කරගන්න . 

ඔබට දවස් 45 පමණ කාලයක් අස්වැන්න නෙලිය හැක . යම් ගැටළුවක් ඇතිවූවොත් සවස 07 න් පසුව කතා කරන්න. 
කියල දෙන්නම් . 
නිවසේ සිටම කුඩා ඉඩක හෝ වවාගෙන ඔබට පරිභෝජනයට අාර්ථිකයට පොඩි හෝ සහනයක් ලබන්න පුලුවන් . 
වානිජ වගාවකට යන්නත් පුලුවන් . 
0779066344. 
තත්වයෙන් උසස් බීජ ලබාගැනීමට ඔබේ පලාතේ බිම්මල් බීජ විකුණන තැනකින් ගන්නත් පුලුවන්. 
කෘෂිකර්ම නිළධාරි හරහා ලබාගන්නත් පුලුවන් 
නැති උනොත් කියන්න බීජ නිශ්පාදකයෙක් සම්බන්ධ කරල දෙන්නත් පුලුවන්. 
කූරියර් හරහා ගෙන්වා ගැනීමට . 
මුලින්ම ටිකක් කරල බලල අත්දැකීමකුත් ලබාගෙනම වැඩි දියුණු කරගත්තොත් ඔබටත් හොද බිම් මල් නිශ්පාදකයෙක් විය හැකියි.

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS