Monday, February 10, 2025

වී ගොවියා .


Gunatilaka Herath

"ඇතැම් ඇමැතිවරුන්ගේ අදහසක් තියෙනවා ගොවියා නිපදවන වී ටික වී අලෙවි මණ්ඩලයට නොදීම සාධාරණ නෑ කියලා. එසේ කියන්නේ, භූමිය, ජලය, සමහරවිට බිත්තර වී, පොහොර ආදියත් රජයේ අනුග්‍රහය ඇතිව ලබා දෙන නිසා. 
එසේ වුවත් වී අලෙවි මණ්ඩලය ස්ථාපනය කිරීමේ අරමුණ වූයේ ගොවීන්ගේ වී සියල්ල මිලට ගැනුම නොව ආරක්ෂිත වී තොගයක් පවත්වාගෙන යමින් වෙළඳපොලේ වී සහ සහල් මිලේ ඇතිවන උස් පහත් වීම් පාලනය කිරීමයි. 
පෞද්ගලික මහ මෝල් හිමියන් සහල් වෙළෙඳ පොළේ ඒකාධිකාරයක් ඇතිකරගෙන සහල් වෙළෙඳ පොළට නිකුත් නොකර සඟවාගෙන, සහල් හිඟයක් කෘතිමව ඇතිකර, මිල වැඩිවීමට සලස්වා අසාධාරණ ලෙස අධික ලාභ ලැබීම, පවතින පාලනය අපහසුතාවයට පත් කිරීම හා ජනයා කුසගින්නේ තැබීමට ක්‍රියා කරනවා නම් ඒ සඳහා එවැනි මෝල් හිමියන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කළ යුතුය. එහිදී මොවුන් වරදක් සිදු කරබව සනාථ කළයුතුවේ. 
මේ සඳහා රජයේ විගණන දෙපාර්තමේන්තුවේ පළපුරුදු විගණන
නිළධාරීන්ගේ හා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන්ගේ සේවය ලබාගත යුතු වේ. එහිදී ඔවුන් විසින්, වගාකළ බිම් ප්‍රමාණය, ගොවීන් සංඛ්‍යාව, මාස් කන්නයට ලබාගත් බිත්තර වී, පොහොර හෝ මුදල්, දළ වශයෙන් ලබාගත් අස්වැන්න ප්රමාණය, පරිභෝජනයට තබා ගත් ප්රමාණය, අලෙවි කළ ප්රමාණය, අලෙවි කළේ කාටද, ගොවිතැන සඳහා නය මුදල් ගනු ලැබුවේ නම් ඒ විස්තර හා වල් නාශක හා කෘමි නාශක ලබා ගත්තේ කෙසේද, ආදී දේවල් ගැන විගණන නිළධාරීන් ගොවීන් නියැදි ලෙස තෝරා ගෙන ඒ කෙරෙහි අවධානය යොමු කරනවා ඇත. එසේම මහ මෝල් හිමියන් බැංකු වලින් ලබාගෙන ඇති නය මුදල්ද,දැනට ඔවුන් සතුව ඇති වී තොග ද මෙහිදී නිරීක්ෂණය කරනවා ඇත. 
මෙලෙස කිරීමෙන් මහ පරිමාණ සහල් මෝල් හිමියන්, සුලුපරිමාන මෝල් හිමියන් හා වී අලෙවි මණ්ඩලය විසින් ගොවීන්ගෙන් රැස්කරගෙන ඇති වී ප්‍රමාණය දළ වශයෙන් ගණන් බැලිය හැකිවේ. 
මෙය ඉතා දුෂ්කර කාර්යයක් වූවත් වංචාවක් සිදුකර තිබේ නම් ඒ බව සනාථ කිරීමට මෙම දත්ත උපකාර වේ."

මුණු පොතට ලියන ගුණතිලක හේරත් මහතා ගේ අදහස එහෙමයි.

කඩුල්ල ගොවියාත් පාරිභොගිකයාත්  ආරක්ෂා විය යුතුයැයි හිතන කෙනෙක් . මේ දෙදෙනාම ආරක්ෂා කරන්න නම් රජය මැදිහත් වෙන්න වෙනවා.

ගොවියාට ජලයත් පොහොර සහණාධාරයත් අඩු මිළට කෘෂි රසායන ආදියත් රජය සපයනවා නම් වී අස්වැන්න රජයට දිය යුතුයැයි , වර්තමාන රජය කියන්නේ. එහෙම නම් රජය වෙළද පලේ ඇති මිළට සමාන මුදලකට වී මිළදී ගන්න ඕනෑ කියලයි කඩුල්ල හිතන්නේ.ගොවියා හැමදාමත් දුප්පතෙක්. ඒ දුප්පත්කකම නැතිකරන්න  , සූරාකෑම නතරකරන්න කියන ස්ලෝගන් එක වයමින් ජවිපෙය වර්ෂ ගනනාවක් ධනපති ආණ්ඩුවලට බල කරමින් එරෙහි වෙමින් කටයුතු කලා. ගොවියා ඒ ගීතයට මෙවර සවන් දුන්නා. එහෙම නම් අද ගොවියාට සවන් දිය යුතුය.

අද පුද්ගලික වී මෝල් හිමියන් තෙත වී රුපියල් 170.00ට මිළදී ගන්නවා. ඔවුන් සතුව ඇති නවීකරණයවු මෝල් ප්‍රමිතියට වී ගබඩා කරගන්න පහසුකම් වලින් යුක්තයි.ඔවුන් හට රජයේ පාලන මිළට හාල් අළවි කරන්න බැරිවු විට රටේ හාල් හිගයක් ඇති වෙනවා.මිළ පාලනය කරන්න බැරිව ගිලිහෙනවා.  මේ ගබඩාවල ඇති වී වල නියම අයිතිකරුවා බැංකු පද්ධතිය බව අපි අමතක කරන්න හොද නැහැ. රජය බලහත්කාරය යෙදවුවොත් සමස්ත ක්‍රියාදාමයම බිදවැටෙනවා.

ගොවියාගේ නිෂ්පාදන වියදම අඩු කිරීමට අවධානයක් රජයට තියෙන බවක් පෙනෙන්න නැහැ. පසුගිය ආණ්ඩු මේ ගැන සැලකිලිමත් වුනේ නැති නිසා කියලා ඇග බේරා ගන්න හදනවාට වඩා දැන්වත් ඒ ගැන සැලකිලිමත් වෙනවා නම් හොදයි.නිෂ්පාදන වියදම අඩුකරගන්න අස්වැන්න වැඩිකරගන්න ක්‍රමෝපායන්, ශ්‍රමදායකත්වය අඩු කරගන්න කෘෂියන්ත්‍රෝපකරන  පහසු මිළට ගන්න බදු සහන වගේ දේවල් ලැබෙන්න ඕනි. අපි තාමත් මේ අතින් ප්‍රාථමිකයි.ව්‍යාපාරිකයෝ ළග තියෙන යන්ත්‍රෝපකරන ගොවියා හයර් කරන්න අධික පිරිවැයක් දරනවා. කන්නයක් වපුරා අස්වැන්න නෙලා ගන්නාතෙක් ගොවියා විදින දුක මේ රජය දන්නේ නැත්නම් ඒක අරුමයක්.

 හාල් සේරු දෙකක් නිකම් දුන්න රටක්. එකක් ශත විසිපහටත්  අනෙක ශත පනහටත් දුන්න කාලයක් තිබුනා. මෙයින් පාරිභෝගිකයා ආරක්ෂා වුනා කියලයි මම හිතන්නේ. පිනට දී මේ සංකල්පය ලෙස හදුන්වන මේ ක්‍රමය මොඩිෆයි කලොත්..........

වී අළවි මණ්ඩලය වහලා දාමු. එතකොට වී එකතු කරන්න වේලන්න ඕන නැහැ. වී ගබඩා නඩත්තු කරන්නත් ඕනි නැහැ. නිළධාරි සේවකයෝ මෝඩ සභාපතිවරු අධ්‍යක්ෂ මණ්ඩල ඕනිත් නැහැ.

මෝල් හිමියන්  ට  නියෝග කරමු සහල් සතොස STC වගේ ආයතනවලට පමනයි දෙන්න ඕන කියලා. ඕනි නම් එයාලගෙන් වැඩි මිළට අරගෙන පාරිභොගිකයාට අඩු මිළට දෙමු. එතකොට සහනාධාරය පාරිභෝගිකයටයි මෝල් හිමියන්ටයි දෙගොල්ලටම ලැබෙනවා. දේශපාලකයාටත් පහසුවෙන් ගානක් ෂේප් කර ගන්න පුලුවන්.

0 comments:

Post a Comment

ඔබේ අවධානයට ස්තුතියි.

 

කඩුල්ල Template by Ipietoon Cute Blog Design and Bukit Gambang