හැම මළ ඉලව්වම දේශපාලනිකයි. පොල් කියන්නෙත් දේශපාලන මාතෘකාවක්. අර අවුරුදු 76 ක් ගැන කියනවනේ. දීර්ඝ කාලීන සැලසුම් තිබිය යුතු දේවලට ඇස්ප්‍රීන් විසදුම් නැහැ. පොල් රුපියල් 1000 /= ට ගියත් අනුර කුමාර දිසානායක ජනාධිපති තුමාට ක්ෂණික විසදුමක් නැහැ නොවැ. විදේශීය ආනයනකින් මිස .
ඒකටත් විනිමය නැහැ.
මුදල් විශුද්ධි කිරීම් නිවරදි කර ගන්නත් තියෙනවා.
අපි පස්සේ කතා කරමු.
පොල් , හාල් ගැන කතා කර කර ඉන්න ගමන්.
මේ පලවෙන්නේ එක අදහසක්. අපි පුලුවන් හැටියට කියවමු.
අනුරාධපුර යුද හමුදා රෝහලේ ඉන්න කොට ඒකේ හිටපු අණදෙන නිලධාරී තුමාට තිබුනා හරි අපූරු පුරුද්දක්. ඒ තමයි වේල් තුනටම පොල් සම්බෝල කන එක. ඉතිං ඔෆිස මෙස් එකේ හැම වේලටම පොල් සම්බෝල වරදින්නේ නෑ. මමත් අලුතින් ගිහින් කාලයක් යන කොට සම්බෝල එපා උනා හැම වේලටම කාලා. දවසක් කුක් ගෙන් ඇහැව්වා මොකද හැම වේලටම සම්බෝල කියලා.එයා කිව්වා, " සර්, අපේ CO කුරුණෑගල පැත්තෙ කෙනෙක් නේ. එහේ ගෙදර හැමදාම පොල් සම්බෝලයක් කන එක පුරුද්දක් ඒ නිසා ඒ පුරුද්දට මෙහෙත් හැම වේලටම සම්බෝල හදන්න කියලා තියෙන්නේ" කියලා. හ්ම්, ඉතිං ඕක වෙනස් කරන්න බෑනේ. ඉතිං අපිත් සම්බෝලෙට පුරුදු උනා.එංගලන්තයේ ගත කරපු අවුරුද්ද දෙක තමයි වැඩි පුරම සම්බෝල කෑවේ. විනාඩි දෙකකට අඩු කාලයකින් සම්බෝල හදන්න එහෙදි පුළුවන්. වැඩේ මෙහෙමයි, ගාපු පොල් ෆ්රීසර් එකේ දාලා ඉන්දියන් කඩ වල ගන්න තියෙනවා. ඒවා අරගෙන ඇවිත් ෆ්රිජ් එකේ දාලා තියෙනවා. සම්බෝල කන්න හිතුන ගමන් ෆ්රිජ් එක ඇරිලා, අවශ්ය තරම් පොල් අරගෙන පොඩි භාජනේක දාලා විනාඩියක් මයික්රෝවේව් එකේ දාලා අයිස් අරිනවා. ඊට පස්සේ අපි ලඟ එහේ තිබුනා අපූරු බ්ලෙන්ඩර් එකක් වගේ උපකරණයක් චොපර් එක කියලා. මේකෙදි තලයට බ්ලෙන්ඩ් වෙන්නේ නෑ නමුත් කුඩාවට කැපෙනවා. මයිකෝවේව් එකේ පොල් වල අයිස් යන කං ලූණු ගෙඩියක් කපලා දාලා, අමු මිරිස්, මිරිස් කුඩු, තක්කලි කෑල්ලක්, ලුනු ගම්මිරිස් පදමට දාලා, දෙහි භාගයක් මිරිකලා ලෑස්ති වෙනවා. ඊට පස්සේ ඉතිං පොල් ටික ඒකට දාලා, උම්බලකඩ දාලා සට පට හාලා චොප් කර ගත්තම සුපිරියට ෆුල් ෆ්රෙෂ් පොල් සම්බෝලයක් එනවා. විනාඩි දෙක සම්පූර්ණ වෙනකොට චොපර් එක හෝදලත් තියන්න පුළුවන්.දැන් ඕකට ඉඟුරු, සුදුලූණු එහෙමත් දාලා පොඩ්ඩක් මොඩිෆයි කර ගන්නත් පුළුවන්. සමහර වෙලාවට හොඳ ගොටු කොළ කීපයක් උනත් මරු. කරපිංචත් හොඳ ඔප්ෂන් එකක්. තිබුණොත් දාලම බලන්න.දැන් ඉතිං පොල්සම්බෝල කන්නත් එපාලු, පොල් මිරිකල කිරි ගන්නත් එපාලු. සත්තුන්ට කන්න දෙන්නත් හාල් නැතිලු.පොල් කිරි මිරිකා ගන්නවා වෙනුවට පිටි පැකට් පාවිච්චි කරන්නලු. ඔය ඒ කාලේ එළකිරි බොන එක නවත්වලා පිටි කිරි වලට පුරුදු කෙරෙව්වෙත් ඔහොමලු නේ. කමක් නෑ හැමදාම ලෝකේ එක වගේ තියෙන්නේ නෑ.හැබැයි සිංගප්පූරුවේ, එංගලන්තයේ ඉන්න කොට පොල් කිරි වෙනුවට තිබුනේ පැකට් කරපු උකු පොල් කිරි එකක්. ඒවා ගොඩක් ආවේ ඉන්දුනීසියාවේන්. ඒක හරිම ලේසියි. රසේ අවුලකුත් නෑ. ඔය දැන් සුපර්මාර්කට් එකේ ෆ්රෙෂ් මිල්ක් එනවා වගේ පොල්කිරි. ඒ වැඩේ නිසා ගොඩක් කාලය ඉතුරු වෙනවා.පොල් සම්බෝල කන එකම රට හැටියට අපේ ආහාර රටාව අපි තියා ගන්න ඕනේ. පොල් තෙලුත් ඒ වගේ. ඒත් කිරි එක නම් උකු කිරි වලට මාරු වෙන්න තියෙනවා නම් මරු. වැඩේ ලේසියි. ඒත් ස්වාභාවික ආහාර රටාවක ඉඳලා processed food culture එකකට මාරු වෙන එක දෙවරක් හිතන්න වෙනවා.රටේ පොල් හිඟ වෙන්න හදිසියේ අපේ පොල් පරිභෝජන රටාව වෙනස් උනේ නෑ. තාම අපි කන්නේ බොන්නේ ඒ පුරුදු විදියට තමයි. හැබැයි අස්වැන්න අඩු උනා. ඒ වැරදි කෘෂි කාර්මික උපක්රම, අත හැරුණු පොල් වගාව සහ දේශගුණික විපර්යාස නිසා. පහුගිය දවස් වල රිලව් බැනුම් ඇහැව්වට, උන් මේක මාස තුනකට කලින් ඉඳලා පටන් ගත්තේ නෑ. අපි වගේම උනුත් කෑවා. ඒ වගේම රටේ කර්මාන්තයක් ලෙස පොල් ආශ්රිත නිෂ්පාදන කර්මාන්ත බිහි වෙලා තියෙනවා. ඒ අය සමහර විට අපනයන සැකසුම් වලට පොල් එකතු කරන නිසා පොල් ඉල්ලුම වැඩිවෙලා තිබෙනවා. එතකොට සැපයුම් මදි වෙන නිසා මිළ ඉහළ යනවා.ඒ වගේ අවස්ථාවක් නම් පොල් ආනයනය කලත් කමක් නෑ. මොකද අපි අමුද්රව්යයක් ලෙස මදි පොල් ගෙන්වලා, ඒවායින් value added නිෂ්පාදනයක් කරලා අපනයනය කරනවා නම් ඒක සාමාන්ය වෙළෙඳපොළ ආර්ථිකයක්. ගෝලීයව එවන් කර්මාන්ත තිබෙනවා. උදාහරණයක් ලෙස අපේම තේ කර්මාන්තයත් ඒ වගේ. කෙන්යාවෙන් එන තේ අපේ සිලෝන් ටී වලට බ්ලෙන්ඩ් කරලා re-export කෙරෙනවා. ඒක සාමාන්ය වෙළෙඳපොළ තත්ත්වයක්. ඒ නිසා අපනයන සැකසුම් වලට පොල් ආනයනය කරන එක වගේම දේශීය පරිභෝජනයට මදි නම් පොල් ගෙන්නන එක සාමාන්ය දෙයක්.රටක් තියෙන්න ඕනේ හොඳට කාලා බීලා ඉන්න. අපිට වගේම බල්ලන්ට පූසන්ට උනත්. රටේ ප්රශ්න අඳුරන්නේ නැතුව ඒවා විසඳන්න බෑ කියලා කයිවාරු ගහන්න බෑ. ප්රශ්න එන කොට කිය කිය එන්නේ නෑ. මේවා අපේ කාලේ නෙවෙයි උනේ කියන්න බෑ. බලය ගත්තේ කරන්න නම්, කට වහගෙන, ඔළුව පාත් කරගෙන වැඩේ කරන්න. ආයේ අරක බෑ මේක බෑ කිය කිය යන්න එපා. ඒ පාඩම ගෝඨාභය කියලා දුන්නා.
0 comments:
Post a Comment
ඔබේ අවධානයට ස්තුතියි.