Tuesday, February 11, 2025

ලයිට් කපනවා.



ලංකා විදුලි බල මණ්ඩලයේ පද්ධති පාලන මැදිරිය. සිංහලෙන් කිව්වොත් System Control Centre එක. ලංකාවේ මෙගාවොට් 10ට වැඩි හැම බලාගාරයක්ම සහ කිලෝවෝල්ට් 132 සහ 220 ප්‍රමාණයේ අධි බල විදුලි සම්ප්‍රේෂණ පද්ධතිය පාලනය සහ නිරීක්ෂණය කරන්නෙ මෙතැන් සිට. ඕගොල්ලො දන්නව විදුලිය කියන්නේ දවස පුරාම විචලනය වෙන ඉල්ලුමක් සහිත දෙයක්. ඒ වගේම ඒක Real Time System එකක්. ඒ කියන්නේ ඉල්ලුම සහ සැපයුම සැමවිටම බැලන්ස් වෙන්න ඕන. නැත්තම් පද්ධතියට හානි වෙනව සහ බිඳවැටෙනව. ඉතින් මේ ඉල්ලුම සහ සැපයුම බැලන්ස් කරන්න විදුලි බලාගාර පද්ධතියට එකතු කරන්න සහ ඉවත් කරන්න බලය තියෙන්නේ මෙතැනට.
ඊළග ගැටලුව කොහොමද හරියට ඉල්ලුම සහ සැපයුම ගැලපෙනවද කියල දැනගන්නෙ. විදුලියේ ආකාර දෙකක් තියෙනවා. එකක් සරල ධාරා (DC) සහ ප්‍රත්‍යාවර්ත ධාරා (AC). ජාලගත විදුලි පද්ධතියක තියෙන්නේ AC විදුලිය. මේ ධාරාව දෝලනය වෙනව. ඒ තප්පරයට වට 50ක වේගයෙන්. නැත්තම් හර්ට්ස් 50ක සංඛ්‍යාතයෙන්. ඉතින් පද්ධතියේ ඉල්ලුම සහ සැපයුම හරියටම ගැලපෙනවා නම් සංඛ්‍යාතය 50Hz වෙන්න ඕන. 50ට අඩු නම් ඉල්ලුමට වඩා සැපයුම අඩුයි. 50ට වැඩි නම් ඉල්ලුමට වඩා වැඩිපුර සැපයුම තියෙනවා. පද්ධති පාලකවරු මේ අගය ගැන ඇහැ ගහගෙන ඉන්නෙ පැය 24 පුරාම. ඕක 49.5 - 50.5ට අතර පවත්වා ගන්න ඕන ලංකාවේ සම්මතයන්ට අනුව.
ඉතින් මේක පාලනය කරන්නෙ කොහොමද? ඒක කරනව ක්‍රම දෙකකට. කෙටි කාලීනව සහ දිගු කාලීනව. හිතන්න දවල් කාලයේ ඉල්ලුම මෙගාවොට් 1000යි. විවිධ තැන්වල
විදුලි යන්ත්‍ර පණගන්වන / ක්‍රියාවිරහිත කරන නිසා මේක 950 - 1050 අතර විචලනය වෙන්න පුළුවන් (මේ පරාසය එතන ඉංජිනේරුවො අත්දැකීමෙන් දන්නව). ඉතින් ඒ නිසා කරන්නෙ මෙගාවොට් 900ක් විතර විවිධ බලාගර වලින් ගන්නව. ඒ හැමෝම තමන්ගෙ සැපයුම නියතව තියාගන්නව. ඉතිරි ටික පාලනය කරන්න ගන්නව එක් බලාගාරයක්. එයාට කියන්නේ Frequency Controlling Machine කියල. අපි හිතමු මෙයාගේ ධාරිතාව මෙගාවොට් 200යි කියල. එතකොට එයාට පුළුවන් සම්පූර්ණ ඉල්ලුම 900 සිට 1100 දක්වා විචලනයකට මූණ දෙන්න එයාගේ සැපයුම වෙනස් කරමින්. ඒක කරන්නෙ අර කලින් කියපු සංඛ්‍යාතය වෙනස් වෙන දිහා බලාගෙන (දැන් නම් මේවා ස්වයංක්‍රීයව කෙරෙන්නෙ). ඒත් හවස් වෙද්දි මිනිස්සු විදුලි පහන් දල්වනකොට, ටෙලිනාට්‍ය බලන්න ගන්නකොට ඉල්ලුම එක පාරට වැඩි වෙනව. එතකොට දෙවෙනි ක්‍රමයට යනව. පද්ධති පාලකවරු විවිධ බලාගාර වලට කතා කරල කියනව ඔයා දැන් මෙච්චරක් දෙන්න කියල. එතකොට ඒ යන්ත්‍ර පණගැන්වෙනව. ඒ වැඩි වෙන සැපයුම සහ වැඩි වෙන ඉල්ලුම අතර වෙනසක් වෙනව නම් අර කලින් කියපු පාලක යන්ත්‍රයේ අවුට්පුට් එක වෙනස් කිරීමෙන් බැලන්ස් කරනවා.
අද උනේ මොකද? අද වුණේ විරල සිද්ධියක්. 
ප්‍රධාන මෙහෙයුම් පද්ධතියේ ඇති වුන අසමතුලිකතාවයක් නිසා සිස්ටම් එකම පාලනයෙන් ගිලිහෙනව. පානදුර ප්‍රදේශයේ ට්‍රාන්ස්ෆෝමර්ස් එකක වදුරෙක් ගැටීමක් සිදුවෙලා තමයි මේ සිදුවීමට මූලික හේතුව. එතකොට ඒ මුළු සැපයුමම පද්ධතියට නැතිවෙනව. ඒ ප්‍රමාණයේ අඩුවීමක් පද්ධතියට දරන්න බෑ. ඒකට ප්‍රතික්‍රියා කරන්න කාලයක් නෑ. ඉතා ක්ෂණිකව වෙන දෙයක්. වෙන බලාගාරයකින් ඒ අඩුව සපුරන්න බෑ. එතකොට වෙන්නෙ අර 49.5ට උඩින් තියාගෙන ඉන්න ඕන එක 48, 47, 46, 45 වගේ බැහැගෙන යනව. ඔහොම බහිද්දි පද්ධතියේම ආරක්ෂාව වෙනුවෙන් සියලුම යන්ත්‍ර ඉබේම අක්‍රීය වෙනවා. දැන් සේරම නිහඬයි. බලාගාර වල පවා දැන් වැඩ කටයුතු කරන්නෙ ඒවයේ තියෙන හදිසි ඩීසල් ජනක යන්ත්‍ර වලින්. මේ බිඳිල විසිරිලා ගිය පද්ධතිය නැවත සංයමයෙන් අමුණන්න ඕන, අර බැලන්ස් එකත් තියාගෙන. නැත්තම් කොච්චර කලත් ආයෙ බිඳවැටෙව. මේක ලේසි කටයුත්තක් නෙවෙයි. දැන් වෙන්නෙ ඒක.
මම මේ කිව්වේ බොහෝම සරලව විදුලි පද්ධතියක වෙන දේ. සමහරු කොච්චර විශේෂඥ මත පලකරත් බැටරියකට වයර් කෑල්ලක් අමුණල බල්බ් එකක් පත්තු කරනවා වගේ නෙවෙයි රටකට විදුලිය දෙන එක. ඒක දන්නෙ ඒකෙ නියැලෙන අයම තමා. කොටින්ම මම දන්නෙත් බොහෝම පොඩ්ඩයි.
ස්තූතියි 🙏🙏🙏
මම වසන්ත කුමාර

මාධ්‍ය , සමාජ මාධ්‍ය දේශපාලන අදහස් විවිධයි. හෙටත් මොනවත් ලියන්න එපැයි. අනිත් ලිපියෙන් ඒ බහුබූත කතා කරමු.

Monday, February 10, 2025

වී ගොවියා .


Gunatilaka Herath

"ඇතැම් ඇමැතිවරුන්ගේ අදහසක් තියෙනවා ගොවියා නිපදවන වී ටික වී අලෙවි මණ්ඩලයට නොදීම සාධාරණ නෑ කියලා. එසේ කියන්නේ, භූමිය, ජලය, සමහරවිට බිත්තර වී, පොහොර ආදියත් රජයේ අනුග්‍රහය ඇතිව ලබා දෙන නිසා. 
එසේ වුවත් වී අලෙවි මණ්ඩලය ස්ථාපනය කිරීමේ අරමුණ වූයේ ගොවීන්ගේ වී සියල්ල මිලට ගැනුම නොව ආරක්ෂිත වී තොගයක් පවත්වාගෙන යමින් වෙළඳපොලේ වී සහ සහල් මිලේ ඇතිවන උස් පහත් වීම් පාලනය කිරීමයි. 
පෞද්ගලික මහ මෝල් හිමියන් සහල් වෙළෙඳ පොළේ ඒකාධිකාරයක් ඇතිකරගෙන සහල් වෙළෙඳ පොළට නිකුත් නොකර සඟවාගෙන, සහල් හිඟයක් කෘතිමව ඇතිකර, මිල වැඩිවීමට සලස්වා අසාධාරණ ලෙස අධික ලාභ ලැබීම, පවතින පාලනය අපහසුතාවයට පත් කිරීම හා ජනයා කුසගින්නේ තැබීමට ක්‍රියා කරනවා නම් ඒ සඳහා එවැනි මෝල් හිමියන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කළ යුතුය. එහිදී මොවුන් වරදක් සිදු කරබව සනාථ කළයුතුවේ. 
මේ සඳහා රජයේ විගණන දෙපාර්තමේන්තුවේ පළපුරුදු විගණන
නිළධාරීන්ගේ හා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන්ගේ සේවය ලබාගත යුතු වේ. එහිදී ඔවුන් විසින්, වගාකළ බිම් ප්‍රමාණය, ගොවීන් සංඛ්‍යාව, මාස් කන්නයට ලබාගත් බිත්තර වී, පොහොර හෝ මුදල්, දළ වශයෙන් ලබාගත් අස්වැන්න ප්රමාණය, පරිභෝජනයට තබා ගත් ප්රමාණය, අලෙවි කළ ප්රමාණය, අලෙවි කළේ කාටද, ගොවිතැන සඳහා නය මුදල් ගනු ලැබුවේ නම් ඒ විස්තර හා වල් නාශක හා කෘමි නාශක ලබා ගත්තේ කෙසේද, ආදී දේවල් ගැන විගණන නිළධාරීන් ගොවීන් නියැදි ලෙස තෝරා ගෙන ඒ කෙරෙහි අවධානය යොමු කරනවා ඇත. එසේම මහ මෝල් හිමියන් බැංකු වලින් ලබාගෙන ඇති නය මුදල්ද,දැනට ඔවුන් සතුව ඇති වී තොග ද මෙහිදී නිරීක්ෂණය කරනවා ඇත. 
මෙලෙස කිරීමෙන් මහ පරිමාණ සහල් මෝල් හිමියන්, සුලුපරිමාන මෝල් හිමියන් හා වී අලෙවි මණ්ඩලය විසින් ගොවීන්ගෙන් රැස්කරගෙන ඇති වී ප්‍රමාණය දළ වශයෙන් ගණන් බැලිය හැකිවේ. 
මෙය ඉතා දුෂ්කර කාර්යයක් වූවත් වංචාවක් සිදුකර තිබේ නම් ඒ බව සනාථ කිරීමට මෙම දත්ත උපකාර වේ."

මුණු පොතට ලියන ගුණතිලක හේරත් මහතා ගේ අදහස එහෙමයි.

කඩුල්ල ගොවියාත් පාරිභොගිකයාත්  ආරක්ෂා විය යුතුයැයි හිතන කෙනෙක් . මේ දෙදෙනාම ආරක්ෂා කරන්න නම් රජය මැදිහත් වෙන්න වෙනවා.

ගොවියාට ජලයත් පොහොර සහණාධාරයත් අඩු මිළට කෘෂි රසායන ආදියත් රජය සපයනවා නම් වී අස්වැන්න රජයට දිය යුතුයැයි , වර්තමාන රජය කියන්නේ. එහෙම නම් රජය වෙළද පලේ ඇති මිළට සමාන මුදලකට වී මිළදී ගන්න ඕනෑ කියලයි කඩුල්ල හිතන්නේ.ගොවියා හැමදාමත් දුප්පතෙක්. ඒ දුප්පත්කකම නැතිකරන්න  , සූරාකෑම නතරකරන්න කියන ස්ලෝගන් එක වයමින් ජවිපෙය වර්ෂ ගනනාවක් ධනපති ආණ්ඩුවලට බල කරමින් එරෙහි වෙමින් කටයුතු කලා. ගොවියා ඒ ගීතයට මෙවර සවන් දුන්නා. එහෙම නම් අද ගොවියාට සවන් දිය යුතුය.

අද පුද්ගලික වී මෝල් හිමියන් තෙත වී රුපියල් 170.00ට මිළදී ගන්නවා. ඔවුන් සතුව ඇති නවීකරණයවු මෝල් ප්‍රමිතියට වී ගබඩා කරගන්න පහසුකම් වලින් යුක්තයි.ඔවුන් හට රජයේ පාලන මිළට හාල් අළවි කරන්න බැරිවු විට රටේ හාල් හිගයක් ඇති වෙනවා.මිළ පාලනය කරන්න බැරිව ගිලිහෙනවා.  මේ ගබඩාවල ඇති වී වල නියම අයිතිකරුවා බැංකු පද්ධතිය බව අපි අමතක කරන්න හොද නැහැ. රජය බලහත්කාරය යෙදවුවොත් සමස්ත ක්‍රියාදාමයම බිදවැටෙනවා.

ගොවියාගේ නිෂ්පාදන වියදම අඩු කිරීමට අවධානයක් රජයට තියෙන බවක් පෙනෙන්න නැහැ. පසුගිය ආණ්ඩු මේ ගැන සැලකිලිමත් වුනේ නැති නිසා කියලා ඇග බේරා ගන්න හදනවාට වඩා දැන්වත් ඒ ගැන සැලකිලිමත් වෙනවා නම් හොදයි.නිෂ්පාදන වියදම අඩුකරගන්න අස්වැන්න වැඩිකරගන්න ක්‍රමෝපායන්, ශ්‍රමදායකත්වය අඩු කරගන්න කෘෂියන්ත්‍රෝපකරන  පහසු මිළට ගන්න බදු සහන වගේ දේවල් ලැබෙන්න ඕනි. අපි තාමත් මේ අතින් ප්‍රාථමිකයි.ව්‍යාපාරිකයෝ ළග තියෙන යන්ත්‍රෝපකරන ගොවියා හයර් කරන්න අධික පිරිවැයක් දරනවා. කන්නයක් වපුරා අස්වැන්න නෙලා ගන්නාතෙක් ගොවියා විදින දුක මේ රජය දන්නේ නැත්නම් ඒක අරුමයක්.

 හාල් සේරු දෙකක් නිකම් දුන්න රටක්. එකක් ශත විසිපහටත්  අනෙක ශත පනහටත් දුන්න කාලයක් තිබුනා. මෙයින් පාරිභෝගිකයා ආරක්ෂා වුනා කියලයි මම හිතන්නේ. පිනට දී මේ සංකල්පය ලෙස හදුන්වන මේ ක්‍රමය මොඩිෆයි කලොත්..........

වී අළවි මණ්ඩලය වහලා දාමු. එතකොට වී එකතු කරන්න වේලන්න ඕන නැහැ. වී ගබඩා නඩත්තු කරන්නත් ඕනි නැහැ. නිළධාරි සේවකයෝ මෝඩ සභාපතිවරු අධ්‍යක්ෂ මණ්ඩල ඕනිත් නැහැ.

මෝල් හිමියන්  ට  නියෝග කරමු සහල් සතොස STC වගේ ආයතනවලට පමනයි දෙන්න ඕන කියලා. ඕනි නම් එයාලගෙන් වැඩි මිළට අරගෙන පාරිභොගිකයාට අඩු මිළට දෙමු. එතකොට සහනාධාරය පාරිභෝගිකයටයි මෝල් හිමියන්ටයි දෙගොල්ලටම ලැබෙනවා. දේශපාලකයාටත් පහසුවෙන් ගානක් ෂේප් කර ගන්න පුලුවන්.