කාලය බොහෝ අරුමයන් මවනවා
අපේ දැනුම සහ අවබෝධයේ තරම කාලයේ අරුමයෙන් ඇති කරන්නේ විශාල පරතෙරයක්. ජීවිතයෙන් වසර හැටක පමණ කාලයක් ආපසු ගමන් කල විට මා එදා අවුරුදු පහලොවක පමණ ගැටයෙක්.
එකලත් අදත් සමාජ විශ්වාශයන් බරපතල ලෙස අභියෝගයටත් වෙනස් වීම් වලටත් පත්වෙලා.
අද පුංචි දරුවෙකුට ඇති අවබෝධය සහ තාර්කික බුද්ධිය එදා අපිට තිබිලා නැහැ කියලා මට දැන් හිතෙනවා. අපි එදා ගතානුගතිකවම හිතලද ?.
එකල අපේ ජීවන රටාවනුත් වෙනස් .
ගොවියාගේ පුතු ගොවිපලට රැගෙන යනවා. ඒ් වගේම බාල පරපුර එහෙම ගියෙත් කමැත්තෙන්. මවුපිය සහයට ගොවිපලට යන්නේ පෙළඹවීමකින් තොරවයි. මගේ පියා වෙලෙන්දෙක්. මමත් ඔහු පවත්වාගෙන ගිය වෙළද සැලට උදව්වට යාම පුංචිකාලේ සිටම සිදුවු දෙයක්. වයසේ තරමට සුළු සුළු අත් උදව් දීමෙන් ඇරඹී මේ කටයුතු පසුකාලය වන විට පියාගේ අනුප්‍රාප්තිකයා බවට පත්කීරිම දක්වා පුහුණුවක් වුනා.
මේ මුලපිරීම බරපතල සාකච්ජාවක් සදහා වගේ පෙනුනත් වියමන වෙන්වෙන්නේ සරල සිදුවීමකින් තැතිගත් මනස මට කල හදියක් ගැන කීමට සහ අපේ පැරන්නන් ස්වභාව ධර්මය උපයෝගී කරමින් කල නිෂ්පාදනයක් ගැන කීමටයි.
මම පලවන වසරේ සිටිනා මගේ මුණුපුරා තරම්වත් බුද්ධිය භාවිතා කරලා නැහැ කියන සිද්ධාන්තය තහවුරු කරගන්නා කතාන්දරයක්. තවත් අතුරු කතාවක්.
කතාවට ප්‍රවේශවුනේ තාත්තාගේ වෙළද සැලේ අත් උදව්වට ගිය බව කියමින්නේ. අපි ජීවත්වු සහ තාත්තාගේ ගණුදෙණු කරුවන් වාසය කල වපසරිය විශාල ප්‍රදේශයක්.එකල අක්කර දහසකටත් අධික ප්‍රදේශයක් පුරා පැතුරන තේ වතුයායක් මේ විශාල ප්‍රදේශයට අයත් වුනා. ( අද මෙ වතුයාය අක්කර සීයයකට පමන සීමා වෙලා අනෙක් නව සීයයම වල් බිහිවෙලා. අපට සමෘධිමත් ආර්ථිකයක් පැවතිය හැකිද ? )
වතු යායේ සේවය කල වතු කම්කරුවන් ආහාර පාන වගේම ඇදුම් පැළදුම් වැනි අවශ්‍යතා මාසික ණය පදනම මත මිලදී ගත්තේ පියාගේ වෙළද සැලෙන්. සෑම මසකම දහවෙනිදා හෝ ඊට ආසන්න දිනක කම්කරු වැටුප් ගෙවන විට මටත් මගේ වසසේ සිටි මගේ නැන්දාගේ පුතාගේත් රාජකාරිය වුනේ කුඩා පොතක සටහන් කරගත් ඒ ඒ ගණුදෙණු කරුවන්ගේ ණය මුදල් එක්රැස්කරගෙන ඒම සදහා ඔවුන් විසු නිවෙස් වලට යාමයි. දින දෙකක් ගතවු මේ ගමන අපි දෙදෙනාට විනෝදමත් චාරිකාවක්. සෑම වාරයකම අපි දෙදෙනාට ආපසු නිවෙස් වලට ඒමට සිදුවන්නේ දෙගොඩ හරියේ රාත්‍රී දොලහට එකට.
1976 දක්වා අවුරුදු විස්සකට අධික කාලයක් කරන ලද මෙම කාරිය අවසන් වුනේ සිරිමා – ශාස්ත්‍රී ගිවිසුම නිසා වතු කම්කරුවන් ශ්‍රී ලංකාවෙන් පිටත්වීමත් සමගයි. එදා පැවති අක්කර දහසක් පමණවු වතුයාය අක්කර සීයයකට පමණ සීමා වීම ඇරඹුනෙත් මේ හේතුව නිසයි.
ඉතින් ….. එක් දවසක අපි දෙන්නා ඒ කිව්වේ මස්සිනාලා දෙන්නා මහ රෑ ඝණ අන්දකාරය මැදින් ගෙදර එනවා. පෙරදා ගෙන ගිය විදුලි පන්දම් දෙකේ බැටරි කලා මැදිරි එළි වගෙයි. බැටරි බැහලා. මෙම බැටරි රෑ දෙකක් අපි බාවිතා කරලා. අතුරු පාරවල් හරහා අපි ගමන ඉක්මන් කරනවා.
තේ වතු යාය අවසන් වෙන්නේ වෙල් යායක් මැදින් වැටී ඇති අතුරු මගකින්. අපි දෙන්නට ඇහෙනවා අමුතු සද්දයක් “ ටකස් – ටොකස් , ටකස් – ටොකස් , ටකස් – ටොකස් ” . නොනැවතීම මේ ශබ්දය ඇහෙනවා.අපිට මතක් වෙනවා අපි ගමන් කරන බිම් කඩ පිළිබදව. ගම්මුන් බලි තොවිල් කර මල් තට්ටු ගෙනවිත් දමන තැන, යකුන් ප්‍රේතයන් අල්ලා ගෙන විත් ඇණ ගසන සුවිසල් ඇට’ඹ ගස.
අපි නිශ්සබ්දයි. ගල් ගැහිලා. තීරණයක් නැතිව හිටිවන ඉන්නවා . “ ටකස් – ටොකස් , ටකස් – ටොකස් , ටකස් – ටොකස් ” . නොනැවතීම ඇහෙනවා.
“අයියේ …(මස්සිනා ) මට කියනවා. මොකද කරන්නේ ?
අපි ආපහු යමු ” මම කියනවා .
අපි ආපසු හැරී ප්‍රධාන මාර්ගය තෝරා ගෙන සැතපුම් භාගයක් විතර ආපසු ගොස් ප්‍රධාන මාර්ග ඔස්සේ යලිත් එනවා. ගමන සැතපුම් එකයි භාගයක් විතර දික්වෙනවා.
මේ එන අතර වතු කම්කරුවන්ගේ සොහොන් කොත් කිහිපයක් පහුකරන්න ඕන. මේ සොහොන් කොත් අතර එක් සොහොනක් ගම් වැසියන් අතර සුප්‍රසිද්ධ සෙහොනක් තියෙනවා. හදුන්වන්නේ “කනක්කයාගේ සොහොන ”කියලා.මෙතන පිලිබද කතා තියෙනවා. කනක්කයා කරන හොල්මන් ගැන.
මේ කනක්කයාගේ සොහොන පහු කරන අපි දෙන්නාට ඉස්සරහට යන්න දෙන්නේ නෑ. අපි පසු පසට තල්ලු කරනවා විශාල මාර ගස් විලාප දෙනවා. අපිට බුදු හාමුදුරුවෝ සිහිවෙනවා. ඉතිපිසෝ ගාථාව අපි මහ හයියෙන් ගායනා කරනවා.වෑයමෙන් ඉස්සරහට තල්ලු වන අපි ඒ බාධකයත් ජය ගෙන යාන්තම් ගෙදරට එනවා.
පහුවදා දෙන්නටම සහලෝල උණතොවිලයක් නොකර බේරුනත් … තෙල් සාත්තුවකින් යාන්තම් බේරුනා.
සතියකට විතර පස්සේ අපි දෙන්නට ලැබුන විවේකයකින් මේ “ටකස් – ටොකස් ” ජංජාලේ සුලමුල හොයා ගත්තා . මහ දවලුත් “ ටකස් – ටොකස් , ටකස් – ටොකස් , ටකස් – ටොකස් ” . නොනැවතීම ඇහෙනවා. ඇහෙන්නේ වෙල් යායෙන් එන හඩ ඔස්සේ ගිහින් බලපුවම දිය පාරකට සවි කර තිබු “දිය උගුල” ක් රාජකාරිය ඉටුකරනවා .
අපි පිටුපසට තල්ලු කල බල වේගය සොයාගන්න නම් සෑහෙන්න කාලයක් ගතවුනා. ජුනි – සැප්තැම්බර් මාසවල මේ ප්‍රදේශයට තද හුලං හමන කාලයක්.මේ කියන බිම් කොටස හරහා හමන තද සුළග වාහන වලට පවා ප්‍රතිරෝධ දක්වනවා. ‘කනක්කයගේ සෙහොන’ පිහිටුවා තියෙන්නේ මේ සුළං කලාපයේ . ‘කනක්කයගේ සෙහොන’ අදත් තියෙනවා. තද හුලං තියෙන දවස් වලට අදත් මේ හරියෙන් යන්න අපහසුයි. අපි දෙන්නට එදා ‘කනක්කයගේ සෙහොනේ’ අභිරහස නිරාකරනය කරගන්න බැරිවුනා.
වියමන දික්වෙනවා.
අපේ පුංචි එකා – මුනුපුරාට පොඩි අසනීපයක් හැදෙනවා. මම යෝජනා කරනවා පැටියෝ අහවල් සීයට කියලා තෙල් ටිකක් මතුර ගෙන එන්නද කියලා. “සීයේ එයාට පියාඹන්න පුළුවන් වෙන්න මතුරන්න පුළුවන් ද ?. ” පුංචි එකා මගෙන් අහනවා.
එහෙමයි. කාලය වෙනස් වෙලා තියෙන්නේ.
Saturday, June 15, 2024
කාලයේ අරුමය
Monday, June 10, 2024
බෙලිහුල්ඔය Belihuloya
බෙලිහුල්ඔය.
වලගම්බා,මායාදුන්න රාජ්‍යකාලයන් සහ මහනුවර රාජ්‍ය කාලයඉංග්‍රීසින්ගේ තේ වගා ආරම්භකල කාල පරාසවල යම් යම් මතක ඉතිරිව තිබෙනවා.වලගම්බා,මායාදුන්න රජවරුන් ඉදිකලා යයි සැලකෙන විහාරස්ථාන. මහනුවර රාජ්‍ය කාලයයේ අස්වැද්දු කෙත්වතු සම්බන්ධ පුරාවෘත්තයන් විසින් අපට මේ ඓතිහාසික පුරවරයක කරුනු කාරනා කියා දෙනවා.
ඉංග්‍රීසින්ගේ සමයේ ඉදිවු තානායම තමයි අද “බෙලිහුල්ඔය තානායම” ලෙස ප්‍රසිද්ධියට පත්ව තියෙන්නේ . මෙය එකල යුරෝපීය වතු පාලකයන්ගේ සංචාරක නවාතැනක් සහ රත්නපුර සිටි සුදු දිසාපතිවරුන්ගේ සංචාරක බංගලාවක්ව තිබී වැඩිදියුනු වු ස්ථානයක්.බෙලිහුල්ඔය තානායම ලගින් ඇරඹෙන අතුරු මාර්ගය ඉංග්‍රීසින්ගේ සමයේ හෝර්ටන් තැන්න හරහා නුවරඑළිය දක්වා වැටී තිබූ අශ්වයින්ට යා හැකිසේ සකස්වු මාර්ගයක්. එදා මෙම මාර්ගයේ යුරෝපීන්ගේ ඊලග නවාතැනවුයේ හෝර්ටන් තැන්නේ පිහිටි “පාර් ඉන් FAR INN” තනායම. මෙය දැන් ව්‍යාපාරික කටයුතු සදහා වසා දමන ලද ස්ථානයක්.වර්තමානයේ මේ මාර්ගය ඔස්සේ කි.මි.15 ක පමන දුෂ්කර පා ගමනකින් හෝර්ටන් තැන්නට පිවිසෙන්න පුළුවන්. මේ ගමන ස්වභාව ධර්මයේ අපුර්ත්වය විදිමින් යා හැකි ගමනක්. ඒත් ඔහිය පැත්තෙන් ප්‍රවේශ මාර්ග සහ දොරටු ඇති කිරීම නිසා මේ පිවිසුමේ හෝර්ටන් තැන්නට ඇතුල්වීම සදහා අවසරගන්න වනජීවී කාර්යාලයක් හෝ නිළධාරීන් නැහැ. ඒ නිසා මේ මාර්ගයෙන් හෝර්ටන් තැන්නට පිවීසීම අනවසර ඇතුල්වීමක් වෙනවා.ශ්‍රී ලංකා සබරගමුව විශ්ව විද්‍යාලය , සමනල වැව සහ සමනලවැව විදුලි බලා ගාරය ( කිමි 15) පිහිටන්නේ බෙලිහුල්ඔය ආශ්‍රිතව.A 4 මාර්ගයේ කොළඹ සිට බදුල්ලට යන විට කි.මි 156 -161 අතර දුර බෙලිහුල්ඔය නම්වු සුන්දර ග්‍රාමීය ප්‍රදේශය පසුකර යන්න ඕනි.බෙලිහුල්ඔයට තම අනන්‍යයවු නාමය ලැබෙන්නේ මේ ආරච්චි වසම මැදින් ගලායන සුන්දරවු “ඔය” නිසාවෙන්.වලවේ ගගේ ප්‍රධානම අතු ගංගාවත් “බෙලිහුල්ඔය” බව සටහන් වුනේ නැත්නම් අඩුවක්. බෙලිහුල්ඔය පටන් ගන්නේ හෝර්ටන් තැන්නෙන්. වර්තමානයේ අවසන්වන්නේ සමනලවැවජලාශයෙන්.බෙලිහුල්ඔයට අයත් සුන්දරවු දිය ඇලි දෙකක් තියෙනවා. එකක් හෝර්ටන් තැන්නේ බේකර්ස් ඇල්ල. අනෙක බෙලිහුල්ඔය මායිමේ පිහිටා තියෙන ගලගම ඇල්ල . මේ ඇල්ලට “කන්දැත්තේ ඇල්ල ” කියලත් කියනවා. කන්දැත්ත ඇල්ල පිහිටන්නේ මේ ආරච්චි වසමට උතුරු මායිමේ. පරිසර හිතකාමීන්ට , කදු නගින්නනට මේ ඇල්ල නරඹන්න යන්න යන ගමන විනෝද වගේම පාරිසරික අත්දෑකීම් වැඩි කරගත හැකි අධ්‍යාපන චාරිකාවක්.විවිධ ශාක පද්ධතින් ,පාරිසරික සහ දේශගුණික වෙනස්කම් අත්විදින්ට පුළුවන්.බෙලිහුල්ඔය දේශීය සංචාරකයන්ගේ නවාතැනක් . කොළඹ සිට පැය හතරක් - පහක් ගමනට ගත කරන විට බෙලිහුල්ඔයට ලගා වෙන්න පුළුවන්.පුද්ගලික වාහනයක නම් මීට වඩා අඩු කාලයක් ගන්නවා.බෙලිහුල්ඔය කොළඹ - බදුල්ල මාර්ගයේ ( ඒ 4 ) කොළඹ සිට කිමී 167ක දුරින් පිහිටනවා.පානදුරේ සිට බදුල්ල දක්වා මාර්ග අංක 64,කොළඹ සිට බදුල්ල දක්වා මාර්ග අංක 99, රත්නපුර සහ බලන්ගොඩ සිට පඹහින්න දක්වා මාර්ග අංක 439 බස් රථ බෙලිහුල්ඔය පසුකරනවා.
Subscribe to:
Posts (Atom)