Friday, July 12, 2024

ගගාව සහ මුහුද --ඛලීල් ජිබ්රාන්




මුහුදට ඇතුළු වීමට පෙර ගංගාවක් බියෙන් වෙව්ලන බව කියනු ලැබේ.
කඳු ශිඛරවල සිට,
වනාන්තර සහ ගම් මැදින්
යන දිගු වංගු මාවතේ සිට
ඇය ගමන් කළ මාවත දෙස ආපසු හැරී බලයි
ඇය ඉදිරියෙහි,
ඇය ඉතා විශාල සාගරයක් දකියි,
එයට ඇතුළු වීම
ඈ සදහටම අතුරුදහන් වීමට
වඩා වැඩි දෙයක් නොපෙනේ.
නමුත් වෙනත් මාර්ගයක් නැත.
ගඟට ආපසු යා නොහැක.
කිසිවකුටත් ආපසු යා නොහැක.
ආපසු යාම පැවැත්ම තුළ කළ නොහැක්කකි.
ගංගාව සාගරයට ඇතුළු වීමේ අවදානම ගත යුතුය,
මන්ද බිය පහව යනු ඇත්තේ එවිටය,
ගංගාව සාගරයට අතුරුදහන් වීම නොව
සාගරය බවට පත්වීම බව ගංගාව දැන ගන්නේ එවිටය.

– ඛලීල් ජිබ්රාන්

Sunday, July 7, 2024

ජුලි හතයි

 




අජන්තා රණසිංහ පද රචනය කල ත්‍යාගා එඩ්වඩ් ගායනා කරන මේ ගීතය කඩුල්ල වියමන් කරන ජූලි හතට සම්බන්ධ වෙන්නේ යාන්තමින්.


ඒත් පහු ගිය අවුරුදු තිස් හතර ක කාලේ ඉදන්ම. මේ ගීතය ජුලි හත්වෙනිදට කඩුල්ලට මතක් නොවී තිබුනේම නැහැ. මතක් වුනා අනිවාර්යෙන්ම.
අවුරුදු තිස් හතරක් මේ 2011 ජුලි මාසේ ලබන්නේ තිස් පස්වෙනි අවුරුද්ද .
අගමැති සිරිමාවෝ ගේ හත් අවුරුදු පාලනේ අන්තිම වසරේ එතුමියගේ ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලේ නිදහස් සේවක සංගමයේ ලේකම් මහත්තෙකුගේ නොහොබිනා කමක් නිවරදි කරන්න අත උස්සපු පාපේ ගෙවමින් 1976 ජුලි මාසේ හත්වෙනිදා කඩුල්ල හිටියේ මහ උළුගෙදර “එල් හෝල් “ එකේ.

ඒ තමයි කඩුල්ල ගේ ගෙවුන ජීවිත කාලයේ හරි වැරද්ද සිවිල් සමාජය තුලම නිවරදි කරන්න ශක්තිය යොදා ගත්ත අන්තිම දවස සහ මුල්ම දවස. ඉන් පස්සේ වැරදි නිවරදි කර ගන්න ඔළුව පාවිච්චි කරන්න කඩුල්ල පුරුදු වුනා. ඒ ක්‍රමයෙන් බොහෝම වැරදියි කියන ඒවා නිවරදි කර ගන්න අවුරුදු ගනන් බලා ඉන්න සිද්ධ වුනා. එදා නම් හිතේ හැටියට වැරද්ද නිවරදි කරලා වැරදි කාරයා රෝහල් ගත කරලා මහ උළු ගෙදර රක්ෂි තයේ දවස් තුනක් තපින්න වුනා. හතරවෙනි දවසේ යාන්තම් ඇප ලැබිලා .අධිකරනයට බඩ ගාන ලද තවත් මාස නවයක් ගතවු දුෂ්කර ගමනකින් පස්සේ අප්රේල් 11 වෙනිදා දවසක විත්තිකාරයා නිදහස් කියලා අධිකරන තින්දුවක් ලැබිලා හිත නිදහස් කර ගත්තා.

සැතපුම් 100 ක් දුර මහ උළුගෙදර දක්වා මහත් වෙහෙසකර ගමනක් ගොස් නන්නාදුන රක්ෂිතයෝ 150 ක් පමණ රදවා තිබු ශාලාවක තාවකාලිව ලැගුම් ගත් කඩුල්ලට බයත් තනිකමත් ඉහට උඩින් පිරිලා ඉතිරිලා තිබුනා. හෙට දවස බාර දීලා තිබුනේ තාත්තට අම්මට. එයාලාගේ පිහිට තමයි හෙට දවසේ තීරණය. හෙට දවසේ වෙන්න තියන වෙනස් කම් පිලිබදව බලාපොරොත්තුවක් වත් හිතේ ඇදිලා තිබුනේ නැහැ..


කඩුල්ලට මුහුන දෙන්න තිබුනේ බස් කොකොන්දොස්තරවරයෙකුට බරපතල ලෙස පහර දී ඔහු සන්තකයේ තිබු ටිකට් පොතත් මුදල් සම්භාරයත් පැහැර ගත්තා කියන බරපතල චෝදනාවකට. මේ කොන්දොස්තර මහත්තයා එතුමාගේ බස් ඩිපෝවේ නිදහස් සේවක සංගමයේ ලේකම් මහත්තයා. සෙල්ලම් නැහැනේ මැතිණියගේ ආණ්ඩු සමයේ එතුමියට අයත් වෘත්තිය සමිතියක ලේකම් මහත්තෙකුගේ ලේ හෙල්ලීම.

කඩුල්ලටත් වැඩේ වැරදුනම බය හිතුනා . පොඩ්ඩක් මග ඇරලා උසාවියට ඉදිරිපත් වෙනවා කියලා හිතුවා. ක්‍රම වේදය වැරදුනා. කොන්දොස්තර මහත්තයාගේ නොහොබිනා කම රජ වෙලා. කඩුල්ල මහ උළු ගෙදර රදවනතුරුම දවස් හතරක් මගී ගමනාගමනය අත්හිටවලා වෘත්තීය ක්‍රියා මාර්ගයකට පිවිසුනා. අන්තිමේදී කඩුල්ල පොලිසිය භාරයට පත්වුනා. ගමනා ගමනය යථා තත්වයට පත්වුනා.පොලිසිය බී වාර්තාවක් මත මහේස්ත්‍රාත් තුමාට කඩුල්ලව ඉදිරිපත් කලාම එතුමා රක්ෂිතව මහ උළු ගෙදර රැදවීමෙන් එදා දවස නිමා වුනා.

බියෙන් ගැහී ගැහී මහ උළු ගෙදර එල් හෝල් එකේදී හමුවුන හැම තරාතිරකම වැඩිහිටියාම පුංචි එකෙක්වු කඩුල්ලගේ හිත නිවී පහන් වන සේ හිත සනස්සන්නත් කෑම බීම ටික සපයන්නත් සීතල පොලොවේ නිදා ගන්නේ නැතිව ඇතිරිලි සපයන්නත් සෞඛ්‍ය පහසුකම් සලස්වා ගන්නත් උදව් වුනා මතක් වෙන කොට නිදහස් ජීවිතයේ හමුවන මිනිසුන්ට වඩා මේ මිනිස්සු දෙවි වරුන්ට සමානයි කියලා කඩුල්ලගේ හිතේ ඇදුනා.

කෑමටික දීලා එකයි දෙකයි කියලා එකසිය පනහ ගානට ගැනලා ජේලර්ලා ගාඩ්ලා කඩුල්ල රොත්තත් එක්ක ශාලාවට ගාල් කරලා ශාලාවේ දොර අගුල් පිටතින් දාලා වැහුවා. අදුරත් සමග පලපුරුදු රැදවියෝ නිදාගන්න සුදානම් වුනා .කාගේදෝ නායක රැදවියෙක් ගේ අනකට කවුරුත් ශාලාවේ පේලි තුනකට ටින් එකක සැමන් ඇහුරුවා වගේ දිගා වුනා . කඩුල්ල ආගන්තුකයි. හවුහරනක් නැතිව අසරනව වට පිට බැළුවා. රැදවියෙක් ගෙන් කඩුල්ලටත් දිගාවෙන්න ඉඩක් ලැබුනා. මොහෙතෙක් ගියේ නෑ එකා වන්ම එකම රිද්මයකින් ගයන්න පටන් ගත්තා.

රෑ පැල් රකින කුරහන් පැහෙනා හේනේ
මගේ තනි නොතනියට නුබ වත් නැතුවානේ
හෙට දින නුඔත් දීගෙක ගිය පසු නෑනේ
මාසේ පෝයදා වාගෙයි ගම්මානේ

එගොඩහ ගොඩේ ඉස්මත්තෙදී දුටුවාට
වැව කන්ඩියේ ඉදගෙන අතවැනුවාට
මද්දුම මහගෙට මම බහ දුන්නාට
නාඩන් මස්සිනේ පෙර පින් නැතුවාට

හැදුවේ ගෙපැල මට තනියෙන් සිටින්නද
බාලේ ඉදන් බැදි ආලේ බිදින්නද
රෑ තුන් ය‍මේ හැටි මේ හැටි දුක් දෙවන්නද
හීනෙන් මිසක හැබැහින් එක් නොවන්නද

නෑනා නැතත් කල දවසක් ගෙවන්නයි
සිටු කුමරියක් කර කාරෙට ලැබෙන්නයි
පත්තිනි ගම්බාර දෙවියන් රකින්නයි.
කුරහන් කපනදා මා සිහිකරන්නයි.

රෑ පැල් රකින කුරහන් පැහෙනා හේනේ
මගේ තනි නොතනියට නුබ වත් නැතුවානේ
හෙට දින නුඔත් දීගෙක ගිය පසු නෑනේ
මාසේ පෝයදා වාගෙයි ගම්මානේ

කඩුල්ල නැවත ඇස් ඇරලා බලන කොට අද වෙන්නේනෙ මොනවද කියලා හිතන්න ජුලි අටවෙනිදා උදා වෙලා !.

2011 ජූලි හත්වෙනිදා ලියුවක්.