Friday, July 12, 2024

ගගාව සහ මුහුද --ඛලීල් ජිබ්රාන්




මුහුදට ඇතුළු වීමට පෙර ගංගාවක් බියෙන් වෙව්ලන බව කියනු ලැබේ.
කඳු ශිඛරවල සිට,
වනාන්තර සහ ගම් මැදින්
යන දිගු වංගු මාවතේ සිට
ඇය ගමන් කළ මාවත දෙස ආපසු හැරී බලයි
ඇය ඉදිරියෙහි,
ඇය ඉතා විශාල සාගරයක් දකියි,
එයට ඇතුළු වීම
ඈ සදහටම අතුරුදහන් වීමට
වඩා වැඩි දෙයක් නොපෙනේ.
නමුත් වෙනත් මාර්ගයක් නැත.
ගඟට ආපසු යා නොහැක.
කිසිවකුටත් ආපසු යා නොහැක.
ආපසු යාම පැවැත්ම තුළ කළ නොහැක්කකි.
ගංගාව සාගරයට ඇතුළු වීමේ අවදානම ගත යුතුය,
මන්ද බිය පහව යනු ඇත්තේ එවිටය,
ගංගාව සාගරයට අතුරුදහන් වීම නොව
සාගරය බවට පත්වීම බව ගංගාව දැන ගන්නේ එවිටය.

– ඛලීල් ජිබ්රාන්

Sunday, July 7, 2024

ජුලි හතයි

 




අජන්තා රණසිංහ පද රචනය කල ත්‍යාගා එඩ්වඩ් ගායනා කරන මේ ගීතය කඩුල්ල වියමන් කරන ජූලි හතට සම්බන්ධ වෙන්නේ යාන්තමින්.


ඒත් පහු ගිය අවුරුදු තිස් හතර ක කාලේ ඉදන්ම. මේ ගීතය ජුලි හත්වෙනිදට කඩුල්ලට මතක් නොවී තිබුනේම නැහැ. මතක් වුනා අනිවාර්යෙන්ම.
අවුරුදු තිස් හතරක් මේ 2011 ජුලි මාසේ ලබන්නේ තිස් පස්වෙනි අවුරුද්ද .
අගමැති සිරිමාවෝ ගේ හත් අවුරුදු පාලනේ අන්තිම වසරේ එතුමියගේ ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලේ නිදහස් සේවක සංගමයේ ලේකම් මහත්තෙකුගේ නොහොබිනා කමක් නිවරදි කරන්න අත උස්සපු පාපේ ගෙවමින් 1976 ජුලි මාසේ හත්වෙනිදා කඩුල්ල හිටියේ මහ උළුගෙදර “එල් හෝල් “ එකේ.

ඒ තමයි කඩුල්ල ගේ ගෙවුන ජීවිත කාලයේ හරි වැරද්ද සිවිල් සමාජය තුලම නිවරදි කරන්න ශක්තිය යොදා ගත්ත අන්තිම දවස සහ මුල්ම දවස. ඉන් පස්සේ වැරදි නිවරදි කර ගන්න ඔළුව පාවිච්චි කරන්න කඩුල්ල පුරුදු වුනා. ඒ ක්‍රමයෙන් බොහෝම වැරදියි කියන ඒවා නිවරදි කර ගන්න අවුරුදු ගනන් බලා ඉන්න සිද්ධ වුනා. එදා නම් හිතේ හැටියට වැරද්ද නිවරදි කරලා වැරදි කාරයා රෝහල් ගත කරලා මහ උළු ගෙදර රක්ෂි තයේ දවස් තුනක් තපින්න වුනා. හතරවෙනි දවසේ යාන්තම් ඇප ලැබිලා .අධිකරනයට බඩ ගාන ලද තවත් මාස නවයක් ගතවු දුෂ්කර ගමනකින් පස්සේ අප්රේල් 11 වෙනිදා දවසක විත්තිකාරයා නිදහස් කියලා අධිකරන තින්දුවක් ලැබිලා හිත නිදහස් කර ගත්තා.

සැතපුම් 100 ක් දුර මහ උළුගෙදර දක්වා මහත් වෙහෙසකර ගමනක් ගොස් නන්නාදුන රක්ෂිතයෝ 150 ක් පමණ රදවා තිබු ශාලාවක තාවකාලිව ලැගුම් ගත් කඩුල්ලට බයත් තනිකමත් ඉහට උඩින් පිරිලා ඉතිරිලා තිබුනා. හෙට දවස බාර දීලා තිබුනේ තාත්තට අම්මට. එයාලාගේ පිහිට තමයි හෙට දවසේ තීරණය. හෙට දවසේ වෙන්න තියන වෙනස් කම් පිලිබදව බලාපොරොත්තුවක් වත් හිතේ ඇදිලා තිබුනේ නැහැ..


කඩුල්ලට මුහුන දෙන්න තිබුනේ බස් කොකොන්දොස්තරවරයෙකුට බරපතල ලෙස පහර දී ඔහු සන්තකයේ තිබු ටිකට් පොතත් මුදල් සම්භාරයත් පැහැර ගත්තා කියන බරපතල චෝදනාවකට. මේ කොන්දොස්තර මහත්තයා එතුමාගේ බස් ඩිපෝවේ නිදහස් සේවක සංගමයේ ලේකම් මහත්තයා. සෙල්ලම් නැහැනේ මැතිණියගේ ආණ්ඩු සමයේ එතුමියට අයත් වෘත්තිය සමිතියක ලේකම් මහත්තෙකුගේ ලේ හෙල්ලීම.

කඩුල්ලටත් වැඩේ වැරදුනම බය හිතුනා . පොඩ්ඩක් මග ඇරලා උසාවියට ඉදිරිපත් වෙනවා කියලා හිතුවා. ක්‍රම වේදය වැරදුනා. කොන්දොස්තර මහත්තයාගේ නොහොබිනා කම රජ වෙලා. කඩුල්ල මහ උළු ගෙදර රදවනතුරුම දවස් හතරක් මගී ගමනාගමනය අත්හිටවලා වෘත්තීය ක්‍රියා මාර්ගයකට පිවිසුනා. අන්තිමේදී කඩුල්ල පොලිසිය භාරයට පත්වුනා. ගමනා ගමනය යථා තත්වයට පත්වුනා.පොලිසිය බී වාර්තාවක් මත මහේස්ත්‍රාත් තුමාට කඩුල්ලව ඉදිරිපත් කලාම එතුමා රක්ෂිතව මහ උළු ගෙදර රැදවීමෙන් එදා දවස නිමා වුනා.

බියෙන් ගැහී ගැහී මහ උළු ගෙදර එල් හෝල් එකේදී හමුවුන හැම තරාතිරකම වැඩිහිටියාම පුංචි එකෙක්වු කඩුල්ලගේ හිත නිවී පහන් වන සේ හිත සනස්සන්නත් කෑම බීම ටික සපයන්නත් සීතල පොලොවේ නිදා ගන්නේ නැතිව ඇතිරිලි සපයන්නත් සෞඛ්‍ය පහසුකම් සලස්වා ගන්නත් උදව් වුනා මතක් වෙන කොට නිදහස් ජීවිතයේ හමුවන මිනිසුන්ට වඩා මේ මිනිස්සු දෙවි වරුන්ට සමානයි කියලා කඩුල්ලගේ හිතේ ඇදුනා.

කෑමටික දීලා එකයි දෙකයි කියලා එකසිය පනහ ගානට ගැනලා ජේලර්ලා ගාඩ්ලා කඩුල්ල රොත්තත් එක්ක ශාලාවට ගාල් කරලා ශාලාවේ දොර අගුල් පිටතින් දාලා වැහුවා. අදුරත් සමග පලපුරුදු රැදවියෝ නිදාගන්න සුදානම් වුනා .කාගේදෝ නායක රැදවියෙක් ගේ අනකට කවුරුත් ශාලාවේ පේලි තුනකට ටින් එකක සැමන් ඇහුරුවා වගේ දිගා වුනා . කඩුල්ල ආගන්තුකයි. හවුහරනක් නැතිව අසරනව වට පිට බැළුවා. රැදවියෙක් ගෙන් කඩුල්ලටත් දිගාවෙන්න ඉඩක් ලැබුනා. මොහෙතෙක් ගියේ නෑ එකා වන්ම එකම රිද්මයකින් ගයන්න පටන් ගත්තා.

රෑ පැල් රකින කුරහන් පැහෙනා හේනේ
මගේ තනි නොතනියට නුබ වත් නැතුවානේ
හෙට දින නුඔත් දීගෙක ගිය පසු නෑනේ
මාසේ පෝයදා වාගෙයි ගම්මානේ

එගොඩහ ගොඩේ ඉස්මත්තෙදී දුටුවාට
වැව කන්ඩියේ ඉදගෙන අතවැනුවාට
මද්දුම මහගෙට මම බහ දුන්නාට
නාඩන් මස්සිනේ පෙර පින් නැතුවාට

හැදුවේ ගෙපැල මට තනියෙන් සිටින්නද
බාලේ ඉදන් බැදි ආලේ බිදින්නද
රෑ තුන් ය‍මේ හැටි මේ හැටි දුක් දෙවන්නද
හීනෙන් මිසක හැබැහින් එක් නොවන්නද

නෑනා නැතත් කල දවසක් ගෙවන්නයි
සිටු කුමරියක් කර කාරෙට ලැබෙන්නයි
පත්තිනි ගම්බාර දෙවියන් රකින්නයි.
කුරහන් කපනදා මා සිහිකරන්නයි.

රෑ පැල් රකින කුරහන් පැහෙනා හේනේ
මගේ තනි නොතනියට නුබ වත් නැතුවානේ
හෙට දින නුඔත් දීගෙක ගිය පසු නෑනේ
මාසේ පෝයදා වාගෙයි ගම්මානේ

කඩුල්ල නැවත ඇස් ඇරලා බලන කොට අද වෙන්නේනෙ මොනවද කියලා හිතන්න ජුලි අටවෙනිදා උදා වෙලා !.

2011 ජූලි හත්වෙනිදා ලියුවක්.


 

Thursday, June 27, 2024

කැරොලිනා මාරියා ඩී ජීසස්

 

ජනාධිපතියෝ,

උඹ කූඩුවක ඉන්න ගිරවෙක් ලස්සන ලස්සන කතා කියනවා.ඒත් බඩගින්නේ ඉන්න මිනිස්සු ව්‍යාඝ්‍ර යෝ කියලා හිතා ගන්න එක හොදයි. උන් ඉන්නේ කෝපයෙන් අවස්ථාව ආපු ගමන් උඹව ගොදුරු කර ගන්නවා“ —කැරොලිනා මාරියා ඩී ජීසස්
මේ දවස් වල මූණු පොතේ හුවමාරු වන උධෘතයක් මගේ හිත ලග නතරවුනා. හිතන්න බොහෝ දේවල් තියෙනවා. අපේ රට , අපේ රටේ වර්තමාන පරම්පරාව . ඔවුන් ඉන්නේ ව්‍යාඝ්‍රයෝ වගේ. උන් දත් විලිස්සා ගෙන රතුවුන ඇස් බෝල කර ගෙන කර කවමින් බලා ගෙන ඉන්නේ ගිරවා මරා දමන්න. ඉවසීමේ සීමාව ඔවුන්ගෙන් ඔබ්බට ගිහින්. සීමාව අවුල් වියවුල් කරන්න අපේ ඇත්තන්ගේ දායකත්වයත් ඉහලයි. එයාලටත් කූඩුවේ හිරවෙන්න සිහින තියෙනවා.ඒකට මග පාදාගන්න ඉන්න ගිරව් මේ ව්‍යාඝ්‍රයෝ රෑනට මවන්නේ සුරංගනා ලෝකයක්.


මාරියා බ්‍රසිලියානු ජාතික ලේඛිකාවක්. ඈ සාඕ පවුලෝ නගරයේ පීඩිතයන් සමග මුඩුක්කු ප්‍ර‍දේශයක ජීවත්වු දිරිය කතක් .ඇගේ ජීවන සටහන් පීඩිත ජීවිතය ඇගෙන් මුදවා ගත්තත් ඈ දරිද්‍රතාවය සහ පාලකයන්ගේ දුෂ්ඨ භූමිකාව පීඩිතභාවයේ සිටම , පීඩිතභාවය අත්විදිමින් සටහන් කලා.

බ්‍රසීලයේ සැක්‍රමෙන්ටෝ නම් කුඩා නඟරයේ දී 1914 මාර්තු මස 14 දින උපත ලද කැරොලිනා කුඩා කලම නිවසින් පලා යනවා. ජීවිතය ගැන කිසිත් අවබෝධයක් නොමැතිව, දන්නා හදුනා ගත් කිසිවෙත් නැති සාඕ පවුලෝ නගරයට.එතකොට ඇගේ වයස අවුරුදු දාහතක්. පියා මව අතහැර ගිහින්. මවගෙන් ඇයට ආදරය ලැබුනේ නැහැ. මව ගෙන් පලා ආ ඇය සාඕ පවුලෝ නගරයේ තනිවනවා.මුඩුක්කු ජීවිතයටත් පියෙක් නැති ති දරු මවකගේ උරුමයත් සමග කටුක ජීවන අරගලයක යෙදෙන ඇය විවේක ඇති විට ලියන්න පෙලෙඹෙනවා.

අක්‍රමවත් ව විසිකරන කඩදාසි කැබලි වල සටහන් වන ඇගේ දරිද්‍රතාවයෙන් උණුසුම් වු ලියවිලි පැල්පතේ ගෝණි මල්ලක එකතුවෙනවා. ඈ රීඩර්ස් ඩයිජස්ට් සගරාවට මේ පිටපත් හැරියත් අප්‍රසිද්ධ චරිතයක්වු මාරියාගේ නිර්මාන ඔවුන්ගේ අවධානයට පත්වෙන්නේ නැහැ. කාලය මෙලෙස ගෙවී යද්දී “ අවුඩාලියෝ ඩාන්ටාස් “ නම් ‘ඕක්රූක්ශයරෝ‘ කියන සගරාවේ සේවය කරන මාධ්‍යවේදියා හමුවෙනවා. අවුඩාලියෝ ඇගේ සටහන් මළු සංස්කරණය කරමින් තමන් සේවය කළ පුවත්පත් ආයතනයේ පුවත් පතේ පළකරනවා.පසුව අවිධිමත් ජීවණ සටහන් මාරියෝගේ දීනපොත් සටහන් ලෙසින් බෞතීස්ම ලබා බ්‍රසීලයෙන් පිටතටත් පැතිරෙමින් මාරියෝ ගේ දූගී ජීවිතයට අරුතක් සපයනවා.

The Diary of Carolina Maria De Jesus නම් ලැබු පොත

පිටවු පසු පොතට ලැබුන ජනප්‍රියතාවය මාරියෝටත් ලැබෙනවා .විශාල ලෙස පිටපත් අලවි වෙනවා. පොත බ්‍රසීල විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යාව කරන සිසුන්ගෙ අත් පොතක් බවට පත්වෙනවා. නීති විද්‍යාලයේ සාමාජිකත්වය දීමෙන් ඈ හට බුහුමන් කරනු ලැබෙනවා.

1977 පෙබරවාරියේ ඈ මිය යන්නේ ජීවිත කාලයෙන් තුනෙන් දෙකකටත් වඩා කාලයක් තිස්සේ ඇ සිහින මැවූ සෞභාග්‍යමත් ජීවිතය අත්විදිමින්.

අපි අදුරට සාප කරමින් සිටිනවා. එක් පහනක් හෝ දල්වන්න උත්සහා කරන්නේ නැතිව.අපි එක් එක් පහන බැගින් දැල්වුවහොත් අදුර දුරුවෙලා යාවී. මාරියෝගේ ජීවිතය අදුරෙන් ගොඩ නැගුනේ අදුරේ සිට සාප කරමින් නොසිට පහන් එකින් එක දල්වපු නිසා කියලා මම හිතනවා.එය අහම්බයක් ලෙස පෙනුනත් ජීවිතයේ හැඩරුව වෙනස් කරන දෛවය ක්‍රියාත්මක වෙන්නේ අප නොසිතනා අයුරින්.නොසිතනා විලසින්.

Thursday, June 20, 2024

බිත්තර.

 



 බිත්තර ගැන මෙතරම් කතා බහට ලක්වුන කාලයක් මට මතක නැහැ;මේ ඔක්කොම හුට පට වෙළද ඇමතිතුමාගේ ආරෝවක් කියලා දවසක ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඇහුවා.දේශපාලකයෝ කියන්නේ සමාජ සේවකයෝ පිරිසක් කියලයි මම හිතන්නේ.ඒත් අපේ දේශපාලකයෝ හිත් මමත්වයෙන් පුරවා ගත්ත අය විදියටයි අපි දකින්නේ.දේශපාලනයේදී පෞද්ගලික කරුණු කාරනා තියෙන්න පුළුවන්ද ?.

බිත්තර විටමින් ඒ – 6%ක්, ෆෝලේට් 5%ක්, විටමින් බී 5 : 9%ක්, විටමින් බී 12 : 15%ක්, විටමින් බී 2 : 9%ක්, පොස්පරස් : 9%ක් සහ සෙලනියම් : 22% ක් බිත්තරවල අඩංගු වෙනවා. එයට අමතරව විටමින් ඩී, විටමින් ඊ, විටමින් කේ, විටමින් බී 6 වගේම කැල්සියම් සහ සින්ක්ද බිත්තරයක තියෙනවා. බිත්තරයකින් කැලරි 77ක් සිරුරට එකතුවෙන අතර ප්‍රෝටීන ග්‍රෑම් 5ක් සිරුරට හිතකර මේද අම්ල ලෙස සිරුරට ඇතුළත් වෙනවා. එක් බිත්තරයක තිබෙන පෝෂ්‍ය පදාර්ථ එක්ක ගත්තාම අඩුම මිලකට ගන්න පුළුවන් පෝෂ්‍යදායි ආහාරයක් වෙන්නේ බිත්තර.
බිත්තර වලට පාලන මිලක් පැනවුවා. පාලන මිලට විකුනන්න සිල්ලර වෙලෙන්දෝ කැමතිවුනේ නැහැ. එයාලට ලැබෙන ලාභය රුපියල් දෙකක් නිසා. නිෂ්පාදකයා පිරිවැය වැඩි නිසා ලාභයක් නැහැ කිව්වා. මහපරිමානයෙන් ගොවිපල පවත්වා ගෙන යන්නන් , බිත්තර රැස් කර අළවි කරන්නන් වෙළද පලට බිත්තර විකුනන්නේ නැතිව මහා පරිමාන ආහාර නිෂ්පාදකයින්ට බිත්තර අළවි කරන්න පටන් ගත්තා. මෙයට හේතුවකුත් තිබ්බා.
බිත්තර නිෂ්පාදනය සදහා කුකුළු පැටවුන් , ආහාර ,බෙහෙත් ද්‍රව්‍ය හිගයක් සහ මිළ අධික වීම නිසා මහා පරිමාන නිෂ්පාදකයෝ තම නිෂ්පාදන පරිමාව අඩුකලා.කුඩා ගොවිපල හිමියන් නිෂ්පාදන පිරිවැය දරා ගන්න බැරිව තම ගොවිපලවල් වසා දැම්මා.
මේ හේතුවෙන් බිත්තර වෙළද පලේ හිගයක් ඇතිවුනා. ඉල්ලුම සහ සැපයුම අතර වෙනස බිත්තර මිළ ඉහල යන්න හේතු වුනා.රජය ඉන්දියාවෙන් බිත්තර ගේනන තීන්දු කලේ මේ වගේ පසුබිමක.
රජය ඉන්දියාණු බිත්තර, කර්මාන්තකරුවන්ට දෙන්න තීරණය කරලා අහාර නිෂ්පාදන කර්මාන්තකරුවන්ගේ වෙළද පල අත්පත් කරගන්නා විට පාරිභොගික වෙළද පලට මෙරට නිෂ්පාදනය කරන බිත්තර ලැබෙයි කියන බලාපොරොත්තුව ඇති කර ගෙන සිටිනවා. ඒ වුනත් පරිභෝජනයට ප්‍රමානවත් බිත්තර ප්‍රමාණයක් මෙරට ගොවිපල වලින් නිෂ්පාදනය වන බවක් දකින්නට නැහැ. බිත්තර නිෂ්පාදකයාට අවශ්‍ය යටිතල පහසුකම් ඒ කිව්වේ කුකුළු පැටවුන් ,සාධාරන මිලට ආහාර හා ඖෂධ තාමත් ලැබෙන්නේ නැහැ.රජයේ නව බදු ප්‍රතිපත්ති බිත්තරේටත් හරස් වෙලා. කෘෂිකර්ම අමාත්‍යංශයට අනුව දියර කිරි නිෂ්පාදනය සියයට 19.8කින්, බිත්තර නිෂ්පාදනය සියයට 34.9කින්ද, කුකුල් මස් නිෂ්පාදනය සියයට 12.1කින්ද පහත වැටී ඇති බවයි පැවසෙන්නේ.
එම අමාත්‍යංශයම සදහන් කරන පරිදි මෙයට හේතුව සත්ව ආහාර නිෂ්පාදනය නිසියාකාරව නොසිදුවීමයි.ගොවීන්ට බීජ , පොහොර නිසිකලට නොලැබෙන් විට අස්වැන්න බලාපොරෙත්තුවෙන්න බැහැ. මෙයට වගකිව යුත්තෙත් කෘෂිකර්ම අමාත්‍යාංශය. ඇමති දෙපල රෙදි ඇදගෙන නානවාද නැත්නම් රෙදි නැතිව නානවද කියලා හිතා ගන්න බැහැ. එකම මේසෙක විසදගන්න පුළුවන් ප්‍රශ්න එකිනෙකා හමු වෙන්නේ නැති ගානට වේදිකාවේ නැත්නම් මාධ්‍ය සාකච්ඡා පවත්වලා දිග අරිනවා.
ඉන්දියාවෙන් බිත්තර ගෙනවිත් ඉන්දියාවට යන විනිමය ගැන හිතන්නේ නැහැ. අපේ ගොවියට බීජ පොහොර අඩු බදු අයකිරීමකින් සපයලා කුකුල් ගොවිපල හිමියනට පැටවුන් ඖෂධ සපයන්නේ නම් ක්‍රමවත් සැලැස්මකින් මාස කිහිපයකින් බිත්තර දේශීයව නිෂ්පාදනය කර ගත හැකියි. සහල් වලට දැන් ගැටළුවක් තියෙනව ?.කන්න දෙකකින් සහල් ප්‍රශ්නය විසදුනා වගේ බිත්තර ප්‍රශ්නයත් විසදේවි.
වෙළද අමාත්‍ය වරයා එක පාරක යන කොට කෘෂිකර්ම ඇමති තුමා යන්නේ වෙන පාරක.සත්භාවයෙන් කටයුතු කරනවා නම් මේවා ගැටළු නෙමෙයි.බිත්තරයටත් QR නොලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.


 







Wednesday, June 19, 2024

තේ කෝප්පයේ අතීතයට.



කඩුල්ලේ අතීතය පිටු පෙරලමින් යලි විමර්ශණය කලා.මාස ගණනාවකට පස්සේ සෑහෙන කාලයක් නොලියවී තිබුන නිසා ලියවිය යුත්තේ කුමක්ද? ලිවිය යුතු ඉම ගැන හිතන්න පටන් ගත්තා . සමහර සිතිවිලි මා මීදුම බ්ලොගයේ පලකරනවා. ඒ තේමාවන්ම පල කිරීම සුදුසු නැහැ. මම සිතනවා. තෝරා බේරා ගෙන ලියන්නම්. විශේෂයෙන් මගේ නොලියවෙන දිනපොත ආයෙත් පටන් ගන්න ඕන. මම හිතුවා.අද තේ කෝප්පයක අතීත සුවද ගැන වියමන් කරන්නේ තේ ගැන කතා කරන්න මගේ මිතුරෙක් මැදිහත් වුන නිසා. අපිට රසවත් තේ කෝප්පයක් බොන්න ලැබෙන්නේ නැහැ .ඒකට හේතුව අපිට වෙළද පොලෙන් හොදම තේ ලැබෙන්නේ නැහැ. . ඒත් හොදම දවටන නම් ලැබෙනවා. මේ ගැන සංවාදයකට පත් අපිට තේ කෝප්පයේ උපත දක්වා අතීතයට යන්න මග එලි කලා. ඒ මග ඔස්සේ ගොස් ඇහිද ගත්තදේ අද නොලියවෙන දින පොතෙන්.
තේ වෙළෙඳපලක් විතරක් නෙමෙයි. , කෘෂිකාර්මික පැවත්මක් . ඒ වගේම සහ දේශයක ආර්ථිකයක් ගොඩ නන්වපු ශාකයක් . එ විතරක්ද තේ සංස්‌කෘතියක් , දේශපාලන බල අරගල උදෙසා අවධානයක් හා ජාත්‍යන්තර සබදතා ඇති කල ශාකයක්.තේ

 



තේ පානයක් ලෙස සකස් කිරීමේ ක්‍රියාවලිය සොයාගැනීමේත් හා ලොවට හදුන්වා දීමේත් ගෞරවය හිමිවන්නේ චීන ජාතිකයන්ටය. තේ පානය පලමුවෙන්ම ප්‍රචලිත වන්නේ චීන ජාතිකයන් අතර. තේ ගස ප්‍රථමයෙන්ම සොයාගනු ලැබ ඇත්තේ බුද්ධ උත්පත්තියටත් වසර 2700 කට පෙර චීනයේ රජකම් කළ සෙන්නූන් Shen Nune අධිරාජයාය.

සෙන්නූන් Shen Nune අධිරාජයා චීනයේ ඈත ප්ර්දේශයකට සිය හමුදාව සමඟ යනවා. ඒ ගමනේදී වෙහෙස මහන්සියට පත් රජතුමා ගිමන් නිවා ගැනීම සඳහා අතරමග නතර වවෙනවා. රජතුමා උණු වතුර ස්‌වල්පයක්‌ පානය කරමින් සිටින විට එම පැන් කෝප්පයට සුළඟේ පාවී ආ මලක්‌ වැටෙනවා. වැටුනේ මලක්‌ නිසා ඒ ගැන තැකීමක් නොකර රජතුමා මලත් සමග උණු ජලය පානය කරනවා. උණු ජලයේ මල තැම්බී දියවී ආ එම ජලයේ දිවට දැනුන ඉමිහිරි රසයෙන් රජතුමා වශී වෙනවා. මල වැඩුනු ශාකය හදුනා ගන්නා රජතුමා එම මල් තම්බා බීමට හුරු වෙනවා. රටවැසියෝද මේ අනුව තේ පානයට හුරු වෙනවා.

තේ බිමක්‌ ලෙස චීනයේ පැතිරුනේ ඉන් පසුවයි. කාලයක්‌ තිස්‌සේ මේ අනගි බීම චීන ජාතිකයන්ට පමණක්‌ ආවේණික රහසක්‌ විය. ශත වර්ෂ ගණනාවකට පසුව බුරුමයේත් ඉන් පසුව සියමේත් තේ වගාව පැතිරී ගියේය.
8 වන සියවස පමණ වනතුරු චීනුන් තේ පානය කළේ ඖෂධීය බීමක්‌ ලෙස පමණි.
කැමිලියා සයිනෙන්සීස්‌ Camillia Sinensis යන උද්භිද විද්යා නාමයෙන් තේ හදුනවනවා.
1852 වර්ෂයේ දී එංගලන්තයේ සිට ලංකාවට ආපු ජේම්ස් ටේලර් නමැති 17 හැවිරිදි තරුණයෙක් වසංගත රෝගයක් පැතිරී විනාශ වෙමින් තිබුන කෝපි වගාව වෙනුවට තේ වගා කරන්න හිතුවා. ඉන්දියාවේ සිට ලංකාවේ සංචාරයකට පැමිණි නෝබල් නැමති ඉංග්‍රීසි ජාතිකයෙක් ටේලර්ට තේ පිළිබඳ මූලික දැනුමක් ලබා දුන්නා. ඉන් පසු තේ පිළිබඳ නොයෙකුත් අත්හදා බැලීම් සහ පර්යේෂණ කරන්නට ජේම්ස් ටේලර් පෙළඹූනා. ඔහු හේවාහැට ලූල් කඳුර වතුයායෙ අංක 7 දරණ කොටසේ සාර්ථක තේ වගා ව්‍යාපෘතියක් ඇරඹුවා. ඒ 1847 වර්ෂයේ දීයි. අප රටේ ආරම්භක තේ වගාව ඒ විදියට ආරම්භ වුණා.
මේ නිසා ලංකාවේ තේ වගාවේ පුරෝගාමියා ලෙස ජේම්ස් ටේලර් නම් වෙනවා.
පුස්‌සැල්ලාව රොත්ස්‌වයිල්ඩ් වත්තේ මවුරයිස්‌ වර්ම්ස්‌ ශ්‍රී ලංකාවේ ප්‍රථම තේ වැවිලිකරුවා යයි මතයක්ද තියෙනවා. එහෙත් ජේම්ස් ටේලර්ගේ නම තමයි වඩාත් තහවුරු වන්නේ.
ජේම්ස් ටේලර්ගේ ලූල් කඳුර වතුයායේ තේ වගා ව්‍යාපෘතියේ ඇති සාර්ථකත්වය නිසා. ඒ ආදර්ශය තුළින් ලංකාවේ තේ වගාව ව්‍යාප්ත වීම නිසා 1873 වසර වන විට තේ රාත්තල් 23 ක් අපනයනය කරමින් ලංකාව ජාත්‍යාන්තර අපනයන ක්‍ෂෙත්‍රයට එක් වුණා.
1892 වසරේදී ජේම්ස් ටේලර් මිය ගියා. ඔහු වෙනුවෙන් ඉදි වූ කිරිගරුඬ සොහොන අදත් මහනුවර මහයියාව සුසාන භූමියේ තිබෙනවා.
අපේ රටේ තේ වගාවේ පුරෝගාමීන් ඉංග්‍රීසි ජාතිකයන්ය.
යුරෝපය ඇතුළු එංගලන්තයේ තේ බීම කොතෙක්‌ ජනප්‍රිය වූවාද යත් 1786 වන විට යුරෝපයට යවන ලද තේ ප්‍රමාණය රාත්තල් (චීන තේ) මිලියන 18 ක්‌ පමණ වුනා.
18 වන සියවසේ අග භාගය වන තුරු උතුරු ඇමරිකාවේ හෙවත් වර්තමාන ඇමරිකා එක්‌සත් ජනපද විශාල ප්‍රමාණයක්‌ එංගලන්තයේ යටත් විජිත ලෙස පාලනය වූ ඒවා. මේ කාලය වන විට ඇමරිකාවේ ද තේ බීම ජනප්‍රියව තිබුනා.
1773 දී එංගලන්ත පාර්ලිමේන්තුව තේ වලට අදාල පනතක්‌ සම්මත කරමින් බ්‍රිතාන්‍යද පෙරදිග ඉන්දියානු වෙළෙඳ සමාගමට යටත් විජිතවල තේ බෙදාහැරීමේ තනි බලය ලබා දුන්නා.
(ශ්‍රී ලංකාවේද ලංදේසින් සතු මුහුදු බඩ පළාත් ඉංග්‍රීන් අල්ලා ගනු ලැබුවේත්, 1802 දක්‌වා පාලනය කරනු ලැබුවෙත් මේ වෙළෙඳ සමාගම මගිනි.) මේ අතර 1773 නොවැම්බර් මාසයේ ඇමරිකාවේ බොස්‌ටන් වරායට තේ පටවා පැමිණි ඩර්මවුත් නමැති ඉංග්‍රිසි නැවට සැමුවෙල් ඇඩම්ස්‌ ඇතුළු විප්ලවවාදීහු පහරදීම සුප්‍රකට බොස්‌ටන් තේ සාදය නමින් ඉතිහාසයේ සටහන්ව ඇත.
එම අරගලය නිමා වූයේ 1776 දී ඇමරිකාව නිදහස්‌ රටක්‌ බවට පත් වීමෙනි.
ශ්‍රී ලංකාව ඉංග්‍රීසි පාලනයට නතුවීමෙන් පසුව වුවද ලන්දේසි වී.ඕ.සී. සමාගමේ පෙරදිග වෙළෙඳ කටයුතු දිගටම සිදුවුනා. විශේෂයෙන්ම යුරෝපයට තේ සැපයීමේ තනි ඒකාධිකාරය පැවතියේ වී.ඕ.සී. සමාගම සතුව. එහෙත් 1833 දී චීනය හා ලන්දේසි සමාගම අතර තිබූ වෙළෙඳ ගිවිසුම අහෝසි වී ගිය අතර එම සමාගමට තේ ආනයනය සඳහා තිබූ නීත්‍යානුකූල අයිතිය අහිමි වුනා.


ඒ වන විට යුරෝපයට සැපයූ තේ රාත්තල් මිලියන 300 න් අඩක්‌ පරිභෝජනය කළේ එංගලන්ත වාසීන්ය. බ්‍රිතාන්‍ය ආණ්‌ඩුව සිය අවශ්‍යතාව පිළිබඳව තම යටත් විජිතවල ආණ්‌ඩුකාරවරුන්ගේ අවධානය යොමු කලා. එවකට ඉන්දියාවේ ඉංග්‍රිසි ආණ්‌ඩුකාරවරයා වූ විලියම් බෙන්ටින්ක්‌ තේ පිළිබඳ සොයා බැලීමට කොමිටියක්‌ පත් කළේය.
එම කොමිටිය මගින් ඉන්දියාවේ ඇසෑම් ප්‍රදේශයේ කැලෑවල තේ ගස ස්‌වාභාවිකව වැවෙන බවද, ඒ නිසා එම ප්‍රදේශය නව තේ වගාවන් ඇරඹීමට සුදුසු බවද නිර්දේශ කොට තිබිණි.
මේ නිර්දේශයන්ට අනුව යමින් ජේම්ස් ටේලර්ගේ තේ වගාවට අවුරුදු 30 කට පෙර ලංකාවේ තේ වගා කරන්න උනන්දු වූනේ 1837 සිට 1841 දක්වා ලංකාවේ ආණ්ඩුකාරයා වූ ‘ ස්ටුවට් මැකන්සි’ විසින් ඔහුගේ පාලන සමයේ දී ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්තයෙන් ලංකාවට ගෙන ආ තේ ඇට ස්වල්පයක් පේරාදෙණිය උද්භිද උද්‍යානයේ පැළ තවානේ රෝපණය කළා. ඒත් ලංකාවේ ඒ තේ වගාව ව්‍යාප්ත කරන්නට ඔහුට හැකියාවක් ලැබුණේ නැහැ. ඒ නිසා ලංකාවේ තේ වගාවේ පුරෝගාමියා ලෙස ජේම්ස් ටේලර් බවට අවිවාදයෙන් නම් වෙනවා.



Saturday, June 15, 2024

කාලයේ අරුමය

කාලය බොහෝ අරුමයන් මවනවා
අපේ දැනුම සහ අවබෝධයේ තරම කාලයේ අරුමයෙන් ඇති කරන්නේ විශාල පරතෙරයක්. ජීවිතයෙන් වසර හැටක පමණ කාලයක් ආපසු ගමන් කල විට මා එදා අවුරුදු පහලොවක පමණ ගැටයෙක්.
එකලත් අදත් සමාජ විශ්වාශයන් බරපතල ලෙස අභියෝගයටත් වෙනස් වීම් වලටත් පත්වෙලා.
අද පුංචි දරුවෙකුට ඇති අවබෝධය සහ තාර්කික බුද්ධිය එදා අපිට තිබිලා නැහැ කියලා මට දැන් හිතෙනවා. අපි එදා ගතානුගතිකවම හිතලද ?.
එකල අපේ ජීවන රටාවනුත් වෙනස් .
ගොවියාගේ පුතු ගොවිපලට රැගෙන යනවා. ඒ් වගේම බාල පරපුර එහෙම ගියෙත් කමැත්තෙන්. මවුපිය සහයට ගොවිපලට යන්නේ පෙළඹවීමකින් තොරවයි. මගේ පියා වෙලෙන්දෙක්. මමත් ඔහු පවත්වාගෙන ගිය වෙළද සැලට උදව්වට යාම පුංචිකාලේ සිටම සිදුවු දෙයක්. වයසේ තරමට සුළු සුළු අත් උදව් දීමෙන් ඇරඹී මේ කටයුතු පසුකාලය වන විට පියාගේ අනුප්‍රාප්තිකයා බවට පත්කීරිම දක්වා පුහුණුවක් වුනා.
මේ මුලපිරීම බරපතල සාකච්ජාවක් සදහා වගේ පෙනුනත් වියමන වෙන්වෙන්නේ සරල සිදුවීමකින් තැතිගත් මනස මට කල හදියක් ගැන කීමට සහ අපේ පැරන්නන් ස්වභාව ධර්මය උපයෝගී කරමින් කල නිෂ්පාදනයක් ගැන කීමටයි.
මම පලවන වසරේ සිටිනා මගේ මුණුපුරා තරම්වත් බුද්ධිය භාවිතා කරලා නැහැ කියන සිද්ධාන්තය තහවුරු කරගන්නා කතාන්දරයක්. තවත් අතුරු කතාවක්.
කතාවට ප්‍රවේශවුනේ තාත්තාගේ වෙළද සැලේ අත් උදව්වට ගිය බව කියමින්නේ. අපි ජීවත්වු සහ තාත්තාගේ ගණුදෙණු කරුවන් වාසය කල වපසරිය විශාල ප්‍රදේශයක්.එකල අක්කර දහසකටත් අධික ප්‍රදේශයක් පුරා පැතුරන තේ වතුයායක් මේ විශාල ප්‍රදේශයට අයත් වුනා. ( අද මෙ වතුයාය අක්කර සීයයකට පමන සීමා වෙලා අනෙක් නව සීයයම වල් බිහිවෙලා. අපට සමෘධිමත් ආර්ථිකයක් පැවතිය හැකිද ? )
වතු යායේ සේවය කල වතු කම්කරුවන් ආහාර පාන වගේම ඇදුම් පැළදුම් වැනි අවශ්‍යතා මාසික ණය පදනම මත මිලදී ගත්තේ පියාගේ වෙළද සැලෙන්. සෑම මසකම දහවෙනිදා හෝ ඊට ආසන්න දිනක කම්කරු වැටුප් ගෙවන විට මටත් මගේ වසසේ සිටි මගේ නැන්දාගේ පුතාගේත් රාජකාරිය වුනේ කුඩා පොතක සටහන් කරගත් ඒ ඒ ගණුදෙණු කරුවන්ගේ ණය මුදල් එක්රැස්කරගෙන ඒම සදහා ඔවුන් විසු නිවෙස් වලට යාමයි. දින දෙකක් ගතවු මේ ගමන අපි දෙදෙනාට විනෝදමත් චාරිකාවක්. සෑම වාරයකම අපි දෙදෙනාට ආපසු නිවෙස් වලට ඒමට සිදුවන්නේ දෙගොඩ හරියේ රාත්‍රී දොලහට එකට.
1976 දක්වා අවුරුදු විස්සකට අධික කාලයක් කරන ලද මෙම කාරිය අවසන් වුනේ සිරිමා – ශාස්ත්‍රී ගිවිසුම නිසා වතු කම්කරුවන් ශ්‍රී ලංකාවෙන් පිටත්වීමත් සමගයි. එදා පැවති අක්කර දහසක් පමණවු වතුයාය අක්කර සීයයකට පමණ සීමා වීම ඇරඹුනෙත් මේ හේතුව නිසයි.
ඉතින් ….. එක් දවසක අපි දෙන්නා ඒ කිව්වේ මස්සිනාලා දෙන්නා මහ රෑ ඝණ අන්දකාරය මැදින් ගෙදර එනවා. පෙරදා ගෙන ගිය විදුලි පන්දම් දෙකේ බැටරි කලා මැදිරි එළි වගෙයි. බැටරි බැහලා. මෙම බැටරි රෑ දෙකක් අපි බාවිතා කරලා. අතුරු පාරවල් හරහා අපි ගමන ඉක්මන් කරනවා.
තේ වතු යාය අවසන් වෙන්නේ වෙල් යායක් මැදින් වැටී ඇති අතුරු මගකින්. අපි දෙන්නට ඇහෙනවා අමුතු සද්දයක් “ ටකස් – ටොකස් , ටකස් – ටොකස් , ටකස් – ටොකස් ” . නොනැවතීම මේ ශබ්දය ඇහෙනවා.අපිට මතක් වෙනවා අපි ගමන් කරන බිම් කඩ පිළිබදව. ගම්මුන් බලි තොවිල් කර මල් තට්ටු ගෙනවිත් දමන තැන, යකුන් ප්‍රේතයන් අල්ලා ගෙන විත් ඇණ ගසන සුවිසල් ඇට’ඹ ගස.
අපි නිශ්සබ්දයි. ගල් ගැහිලා. තීරණයක් නැතිව හිටිවන ඉන්නවා . “ ටකස් – ටොකස් , ටකස් – ටොකස් , ටකස් – ටොකස් ” . නොනැවතීම ඇහෙනවා.
“අයියේ …(මස්සිනා ) මට කියනවා. මොකද කරන්නේ ?
අපි ආපහු යමු ” මම කියනවා .
අපි ආපසු හැරී ප්‍රධාන මාර්ගය තෝරා ගෙන සැතපුම් භාගයක් විතර ආපසු ගොස් ප්‍රධාන මාර්ග ඔස්සේ යලිත් එනවා. ගමන සැතපුම් එකයි භාගයක් විතර දික්වෙනවා.
මේ එන අතර වතු කම්කරුවන්ගේ සොහොන් කොත් කිහිපයක් පහුකරන්න ඕන. මේ සොහොන් කොත් අතර එක් සොහොනක් ගම් වැසියන් අතර සුප්‍රසිද්ධ සෙහොනක් තියෙනවා. හදුන්වන්නේ “කනක්කයාගේ සොහොන ”කියලා.මෙතන පිලිබද කතා තියෙනවා. කනක්කයා කරන හොල්මන් ගැන.
මේ කනක්කයාගේ සොහොන පහු කරන අපි දෙන්නාට ඉස්සරහට යන්න දෙන්නේ නෑ. අපි පසු පසට තල්ලු කරනවා විශාල මාර ගස් විලාප දෙනවා. අපිට බුදු හාමුදුරුවෝ සිහිවෙනවා. ඉතිපිසෝ ගාථාව අපි මහ හයියෙන් ගායනා කරනවා.වෑයමෙන් ඉස්සරහට තල්ලු වන අපි ඒ බාධකයත් ජය ගෙන යාන්තම් ගෙදරට එනවා.


පහුවදා දෙන්නටම සහලෝල උණතොවිලයක් නොකර බේරුනත් … තෙල් සාත්තුවකින් යාන්තම් බේරුනා.
සතියකට විතර පස්සේ අපි දෙන්නට ලැබුන විවේකයකින් මේ “ටකස් – ටොකස් ” ජංජාලේ සුලමුල හොයා ගත්තා . මහ දවලුත් “ ටකස් – ටොකස් , ටකස් – ටොකස් , ටකස් – ටොකස් ” . නොනැවතීම ඇහෙනවා. ඇහෙන්නේ වෙල් යායෙන් එන හඩ ඔස්සේ ගිහින් බලපුවම දිය පාරකට සවි කර තිබු “දිය උගුල” ක් රාජකාරිය ඉටුකරනවා .
අපි පිටුපසට තල්ලු කල බල වේගය සොයාගන්න නම් සෑහෙන්න කාලයක් ගතවුනා. ජුනි – සැප්තැම්බර් මාසවල මේ ප්‍රදේශයට තද හුලං හමන කාලයක්.මේ කියන බිම් කොටස හරහා හමන තද සුළග වාහන වලට පවා ප්‍රතිරෝධ දක්වනවා. ‘කනක්කයගේ සෙහොන’ පිහිටුවා තියෙන්නේ මේ සුළං කලාපයේ . ‘කනක්කයගේ සෙහොන’ අදත් තියෙනවා. තද හුලං තියෙන දවස් වලට අදත් මේ හරියෙන් යන්න අපහසුයි. අපි දෙන්නට එදා ‘කනක්කයගේ සෙහොනේ’ අභිරහස නිරාකරනය කරගන්න බැරිවුනා.
වියමන දික්වෙනවා.
අපේ පුංචි එකා – මුනුපුරාට පොඩි අසනීපයක් හැදෙනවා. මම යෝජනා කරනවා පැටියෝ අහවල් සීයට කියලා තෙල් ටිකක් මතුර ගෙන එන්නද කියලා. “සීයේ එයාට පියාඹන්න පුළුවන් වෙන්න මතුරන්න පුළුවන් ද ?. ” පුංචි එකා මගෙන් අහනවා.
එහෙමයි. කාලය වෙනස් වෙලා තියෙන්නේ
.

Monday, June 10, 2024

බෙලිහුල්ඔය Belihuloya

 






















බෙලිහුල්ඔය.

වලගම්බා,මායාදුන්න රාජ්‍යකාලයන් සහ මහනුවර රාජ්‍ය කාලයඉංග්‍රීසින්ගේ තේ වගා ආරම්භකල කාල පරාසවල යම් යම් මතක ඉතිරිව තිබෙනවා.වලගම්බා,මායාදුන්න රජවරුන් ඉදිකලා යයි සැලකෙන විහාරස්ථාන. මහනුවර රාජ්‍ය කාලයයේ අස්වැද්දු කෙත්වතු සම්බන්ධ පුරාවෘත්තයන් විසින් අපට මේ ‍‍ඓතිහාසික පුරවරයක කරුනු කාරනා කියා දෙනවා.

ඉංග්‍රීසින්ගේ සමයේ ඉදිවු තානායම තමයි අද “බෙලිහුල්ඔය තානායම” ලෙස ප්‍රසිද්ධියට පත්ව තියෙන්නේ . මෙය එකල යුරෝපීය වතු පාලකයන්ගේ සංචාරක නවාතැනක් සහ රත්නපුර සිටි සුදු දිසාපතිවරුන්ගේ සංචාරක බංගලාවක්ව තිබී වැඩිදියුනු වු ස්ථානයක්.
බෙලිහුල්ඔය තානායම ලගින් ඇරඹෙන අතුරු මාර්ගය ඉංග්‍රීසින්ගේ සමයේ හෝර්ටන් තැන්න හරහා නුවරඑළිය දක්වා වැටී තිබූ අශ්වයින්ට යා හැකිසේ සකස්වු මාර්ගයක්. එදා මෙම මාර්ගයේ යුරෝපීන්ගේ ඊලග නවාතැනවුයේ හෝර්ටන් තැන්නේ පිහිටි “පාර් ඉන් FAR INN” තනායම. මෙය දැන් ව්‍යාපාරික කටයුතු සදහා වසා දමන ලද ස්ථානයක්.
වර්තමානයේ මේ මාර්ගය ඔස්සේ කි.මි.15 ක පමන දුෂ්කර පා ගමනකින් හෝර්ටන් තැන්නට පිවිසෙන්න පුළුවන්. මේ ගමන ස්වභාව ධර්මයේ අපුර්ත්වය විදිමින් යා හැකි ගමනක්. ඒත් ඔහිය පැත්තෙන් ප්‍රවේශ මාර්ග සහ දොරටු ඇති කිරීම නිසා මේ පිවිසුමේ හෝර්ටන් තැන්නට ඇතුල්වීම සදහා අවසරගන්න වනජීවී කාර්යාලයක් හෝ නිළධාරීන් නැහැ. ඒ නිසා මේ මාර්ගයෙන් හෝර්ටන් තැන්නට පිවීසීම අනවසර ඇතුල්වීමක් වෙනවා.
ශ්‍රී ලංකා සබරගමුව විශ්ව විද්‍යාලය , සමනල වැව සහ සමනලවැව විදුලි බලා ගාරය ( කිමි 15) පිහිටන්නේ බෙලිහුල්ඔය ආශ්‍රිතව.
A 4 මාර්ගයේ කොළඹ සිට බදුල්ලට යන විට කි.මි 156 -161 අතර දුර බෙලිහුල්ඔය නම්වු සුන්දර ග්‍රාමීය ප්‍රදේශය පසුකර යන්න ඕනි.බෙලිහුල්ඔයට තම අනන්‍යයවු නාමය ලැබෙන්නේ මේ ආරච්චි වසම මැදින් ගලායන සුන්දරවු “ඔය” නිසාවෙන්.
වලවේ ගගේ ප්‍රධානම අතු ගංගාවත් “බෙලිහුල්ඔය” බව සටහන් වුනේ නැත්නම් අඩුවක්. බෙලිහුල්ඔය පටන් ගන්නේ හෝර්ටන් තැන්නෙන්. වර්තමානයේ අවසන්වන්නේ සමනලවැවජලාශයෙන්.
බෙලිහුල්ඔයට අයත් සුන්දරවු දිය ඇලි දෙකක් තියෙනවා. එකක් හෝර්ටන් තැන්නේ බේකර්ස් ඇල්ල. අනෙක බෙලිහුල්ඔය මායිමේ පිහිටා තියෙන ගලගම ඇල්ල . මේ ඇල්ලට “කන්දැත්තේ ඇල්ල ” කියලත් කියනවා. කන්දැත්ත ඇල්ල පිහිටන්නේ මේ ආරච්චි වසමට උතුරු මායිමේ. පරිසර හිතකාමීන්ට , කදු නගින්නනට මේ ඇල්ල නරඹන්න යන්න යන ගමන විනෝද වගේම පාරිසරික අත්දෑකීම් වැඩි කරගත හැකි අධ්‍යාපන චාරිකාවක්.විවිධ ශාක පද්ධතින් ,පාරිසරික සහ දේශගුණික වෙනස්කම් අත්විදින්ට පුළුවන්.
බෙලිහුල්ඔය දේශීය සංචාරකයන්ගේ නවාතැනක් . කොළඹ සිට පැය හතරක් - පහක් ගමනට ගත කරන විට බෙලිහුල්ඔයට ලගා වෙන්න පුළුවන්.පුද්ගලික වාහනයක නම් මීට වඩා අඩු කාලයක් ගන්නවා.
බෙලිහුල්ඔය කොළඹ - බදුල්ල මාර්ගයේ ( ඒ 4 ) කොළඹ සිට කිමී 167ක දුරින් පිහිටනවා.පානදුරේ සිට බදුල්ල දක්වා මාර්ග අංක 64,කොළඹ සිට බදුල්ල දක්වා මාර්ග අංක 99, රත්නපුර සහ බලන්ගොඩ සිට පඹහින්න දක්වා මාර්ග අංක 439 බස් රථ බෙලිහුල්ඔය පසුකරනවා.









Saturday, May 25, 2024

පේරාදෙණිය පැරණි බුරුත පාලම

 පේරාදෙණිය පැරණි බුරුත පාලම



ශ්‍රීමත් එඩ්වර්ඩ් බාන්ස් ආණ්ඩුකාරවරයා ගේ සැලැස්මට අනුව මෙම පාලමේ ඉදිකිරීම් කටයුතු, එවකට රජයේ ඉංජිනේරුවරයෙකු ව සිටි 37වන රෙජිමේන්තුවේ ලුතිනන් ජනරාල් ජෝන් ෆ්‍රෙසර් විසින් ඉටු කර ඇත. මාර්ග ඉදිකිරීම් සහ සිතියම් ඇදීමේ ක්‍ෂේත‍්‍රයන් හි නිපුණතාවකින් හෙඹි මොහු විසින් මෙම පාලමේ සැලැස්ම නිර්මාණය කර ඇත. ඒ අනුව 1826 දෙසැම්බර් මාසයේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කර 1933 ඔක්තෝබර් මාසයේ ගමනාගමන කටයුතු සඳහා විවෘත කර ඇත. ඒ සඳහා කම්කරුවන් 1,200ක ගේ ශ‍්‍රමය භාවිත කර ඇත. බ‍්‍රවුන් ගේ මාර්ග සංවර්ධන කි‍්‍රයාදාමයේ දී උඩරට ආරක්‍ෂාව වෙනුවෙන් බලකොටු ඉදිකිරීම සඳහා යොදවා සිටි කම්කරුවන් ගේ ශ‍්‍රමය ලබාගත් බවට ලිඛිත සාධක පවති. පාලමේ සමස්ත ඉදිකිරීම් සඳහා කහ පැහැති බුරුත දැව උපයෝගි කරගෙන ඇත. සම කාලීන ඉදිකිරීම් ක්‍ෂේත‍්‍රයේ බහුල වශයෙන් යොදා ගෙන ඇති මෙම දැවවල විශේෂත්වය වන්නේ දැඩි බව, කල්පවත්නා බව, දීප්තිමත් බව, තෙතමනයට මෙන්ම වියළි උෂ්ණත්වයට වඩා හොඳින් ඔරොත්තු දීමේ හැකියාව පැවතීම ය. මෙනිසාවෙන් ම මෙම පාලම ‘බුරුත පාලම’ , ‘දැව ආරුක්කු පාලම’ යන නමින් ව්‍යවහාරයට පත් ව ඇත. ඇතැම් වාර්තාවල බුරුත හා මිල්ල යන දැව දෙක ම වාර්තා කළ බව සඳහන් වේ. ඉදිකිරීම් සඳහා උපයෝගිකර ගත් දැව සියල්ල කොළඹ දී අවශ්‍ය ප‍්‍රමාණයට කපා යතු ගා ප‍්‍රවාහනය කර ඇත.බ‍්‍රවුන් ගේ උපදෙස් පරිදි ගලින් නිමවන ලද දෙ පස යා බැමි ආධාරක වශයෙන් උපයෝගි කර ගනිමින් තනි ආරුක්කුවක් සහිත ව නිමවන ලද මෙම පාලමේ දිග උඩි 205ක් හා පළල අඩි 22ක් වේ. ආරුක්කුව සඳහා වක‍්‍රාකාර ති‍්‍රත්ව දැව බාල්ක 4ක් (Trible ribs) හරස් අතට (පාමේ පළලට) ඒවා මැදින් මැද අඩි 5ක දුරස්තර බාවයකින් යුක්තව පිහිටන පරිදි යා බැමි හා සම්බන්ධ කර ඇත. දැව බාල්ක ත‍්‍රිත්වය එක්ව ගත් කල උස අඩි 4ක් වන අතර ආරුක්කුව නිර්මාණයේ දී එකිනෙක අතර අඩි 2ක පරතරයක් තබා නිමවීමේ දී ත‍්‍රිත්ව බාල්කයක සමස්ත උස අඩි 8කි. දැවමුවා මාර්ග පථය සමබරව පිහිටන වන පරිදි, මෙම ති‍්‍රත්ව දැව බාල්ක හතර, තිරස්ව සහ සිරස්ව (ගරාදි වැටක් මෙන්) දැව රීප්පවලින් සම්බන්ධ කර ඇත. සමස්ත පාලම ඉදිකිරීම්වල දී එකඳු යකඩ ඇණයක් හෝ කූඤ්ඤයක් භාවිත නොකර දැව කූඤ්ඤ පමණක් භාවිත කිරීම මෙහි ඇති විශේෂත්වය යි. මේ නිසා පාලම අලුත්වැඩියා කිරීමේ දී ගමනාගමනයට බාධාවක් නොවන පරිදි සහ ආරුක්කුවට හානි නොවන පරිදි කොටස් ගලවා ඉවත් කිරීමට සහ වෙනත් කොටස් පිරිද්දීමේ හැකියාව පැවතිණ.


ගංගාවේ පහළ ජල මට්ටමේ සිට රථ මාර්ගයේ මතුපිට (Road way) දක්වා පාලමේ උස අඩි 67ක් වන අතර ආරුක්කුව යටි පැත්තේ මතුපිට දක්වා උස අඩි 57 1/2ක් වේ. මේ නිසා අධික වර්ෂා කාලවල දී ගංගාවේ ජල මට්ටමට වඩා හොඳින් ඔාරාත්තු දී ඇත. 1834 දී ගඟේ ජල මට්ටම අඩි 60 දක්වා ඉහළ ගිය ද පාලමට කිසිදු හානියක් සිදු වී නොමැත. මාර්ග පථය දෙ පස දැවමුවා අත් වැටක් නිමවා ඇත. වත්මන මෙම පාලමේ දෘශ්‍යමාන සාදක කිසිවක් දක්නට නොමැති වුව ද එහි ආකෘතියක් ලන්ඩනයේ දකුණු කිංස්ටන් කෞතුකාගාරයේ ප‍්‍රදර්ශනයට තබා ඇත. පාලම ඉදිකිරීම් කටයුතු අවසානයෙන් පසු කොළඹ සිට මහනුවර දක්වා මෙම පාලම මතින් ගමන් කළ ප‍්‍රථම වාහනය වූයේ තැපැල් අශ්ව කෝච්චිය යි. මෙම කෝච්චි සේවය දකුණු ආසියාවේ ප‍්‍රථම තැපැල් අශ්ව කෝච්චිය වීම ද විශේෂ කරුණකි.
පේරාදෙණිය අලුත් පාලම
මහජනතාව වෙනුවෙන් පාලම විවෘත වූ දා පටන් ඒ හරහා ගමන් කරන මිනිසුන්ගෙන් සහ රථවාහනවලින් මධ්‍යම පළාත් රජයේ නියෝජිත විසින් බදු අයකර ගැනීම සිදුකර ඇත. ඒ අනුව 1866 දී උපයන ලද මුළු ආදායම රු. 64,250.00ක් විය. 1867 පළමු වරට කොළඹ – නුවර දුම්රිය මාර්ගය ඉදිකිරීමත් සමඟම ඉපැයූ බදු මුදල් ප‍්‍රමාණය ක‍්‍රමයෙන් පහත වැටුණි. එය වසරකට රු 1,900.00ක් දක්වා පහත වැටුණු බව වාර්තාවල සඳහන් වේ. 1866 සිට මහනුවර මහ නගර සභාව විසින් පාලමේ නඩත්ත කටයුතු බාරව සිට 1881 දී රජයට භාර දී ඇත. නගර සභා වාර්තාවලට අනුව 1887 දී පාලමේ අලුත්වැඩියා කටයුතුවල දී කොන්ත‍්‍රාත්කරුවන් ලෙස messrs middlton company කටයුතු කර ඇත. වසර 71ක කාලයක් භාවිතයේ පැවති බුරුත පාලම ක‍්‍රමයෙන් ගරාවැටෙන ස්වභාවයට පත් වූයෙන් වාහන ගමනාගමනය නතර කරන ලදී. එහෙත් 1904 ඔක්තොබර් 14 දක්වා මගීන්ට පමණක් ගමන් කිරීම සඳහා අවසර ලබා දී ඇත. තවදුරටත් පාලම මතින් ගමන් කිරීම අනාරක්‍ෂිත සහ අවධානම් සහිත වූයෙන් නව පාලමක් ඉදිකිරීමේ අවශ්‍යතාව සඳහා අවධානය යොමු කර ඇත. එහි දී පාලම ගලවා ඉවත් කිරීමට පෙර තාවකාලික පාලමක් ගන්නෝරුව තොටුපොළ අසළ දී ඉදිකර පසුව අබලන් වූ පාලම ගලවා එහි කොටස් ප‍්‍රසිද්ධ වෙන්දේසියේ විකුණා ඇත. 1906 නව පාලම වානේ මාධ්‍යයෙන් ඉදිකිරීම සිදුකර ඇත. එහි දී පැරණි පාලමේ යා බැමි දෙක උපයෝගිකර ගනිමින්, ගංගාවේ පළල කොටස් 3කට බෙදෙන පරිදි, ක‍්‍රමයෙන් ඉහළට සිහින් වන සේ කළුගල් සහ සිමෙන්ති කොන්කී‍්‍රට්වලින් කුළුණු දෙකක් (දෙපස යා බැමි දෙක අතර) ඉදිකර කර ඇත. එම කුළුණු ජල මට්ටමේ දී අඩි 38×10 වන අතර ඉහළ මට්ටමේ දී අඩි 28×6ක් වේ. මේවා ජල පිටාර මට්ටමේ දී පාෂාණ මුහුණත් සහිතව සිමෙන්ති කොන්ක‍්‍රීට්වලින් නිමවා ඇත. තව ද මෙම කුළුණු නිර්මාණයේ දී අඩි 35ක් පහළ ජල මට්ටමේ දී පිළිවෙලින් අඩි 11×4 සහ 13×3 අෂ්ටඝ‍්‍රාකාර හැඩැති ද්විත්ව ළිං දෙකක් මව් පාෂාණය දක්වා ගිල්වීම කර ඇත. ආරුක්කුව සඳහා භාවිත වානේ බාල්කවල බර උසුලා සිටීමට ඔරොත්තු දෙන පරිදි මෙම ළිංවල අත්තිවාරම මව් පාෂාණය දක්වා කැන ඇත.

මෙම නව පාලම, ත‍්‍රිත්ව ආරුක්කු සහිතව, පහළ ජල මට්ටමේ සිට උස අඩි 67 අඟල් 9ක් වන සේ යා බැමි හා කුළුණු ආධාරක මත සම්බන්ධ කර නිමවා ඇත. මාර්ග පථය දෙපස අලංකාර සිමෙන්ති කොන්ක‍්‍රීට් අත්වැටක් නිර්මාණය කර අති අතර රැළි කරන ලද වානේ බිම් ගල් සහ පාරට යොදන ගල් තාර (තාර හා ගල් කැට මිශ‍්‍ර කොට පාරවල යෙදීමට ගන්නා ආලේපය) මේ සඳහා භාවීත කර ඇත. මෙහි ඉදිකිරීම් කටයුතු අවසන් කර 1906 සැප්තැමිබර් 11 හෙන්රි බ්ලේක් ආණ්ඩුකාරවරයා ව්සින් ගමනාගමන කටයුතු සඳහා ව්වෘත කර ඇත.



ලිපියේ පූර්ණ අයිතිය නිලන්ති කේ. එදිරිසිංහ
පුරාවිද්‍යා පර්යේෂණ නිලධාරි, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, කොළඹ.

උපුටා ගැනිමකි.

ස්තුතියි
මුල් හිමිකරුට